මාතර, කඹුරුපිටිය පොලිස් බල ප්‍රදේශයේ පියෙකු තම දරුවන් තිදෙනා එල්ලා ඝාතනය කොට තමාද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය පවසයි. කඹුරුපිටියේ බෙරලිඅ...
කඹුරුපිටියේ බෙරලිඅතුර ප්‍ර දේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 වෙත ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානය වෙත ගොස් තිබේ.
එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ නිවස මුළුමනින්ම දැවී විනාශවී ගොස් තිබී ඇති අතර නිවස ඉදිරිපිට ගස් දෙකක් අතර හරහට දැමූ උණ ලීයක ගැටගැසූ තංගුස් කඹයක අධාරයෙන් එම නිවසේ පදිංචිව සිටි පියා, ගැහැනු ළමුන් දෙදෙනා සහ පුතා ගෙල වැලලාගෙන මිය ගොස් සිට ඇත.
මෙම සැකකාර පියා විසින් දරුවන් තිදෙනාගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ඔහුද, ගෙල වැලලාගෙන ඇති බවට පොලීසිය විසින් කළ මූලික විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බෙරලිඅතුර, රන්සෑගොඩ උතුර පදිංචිව සිටි වික්‍රමතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත(44), වික්‍රමතුංග ආරච්චි පතිරණගේ කෞෂල්‍යා සෙව්වන්දි (16),වික්‍රමතුංග ආරච්චි පතිරණගේ හිරුණි සෙව්වන්දිකා (10), රන්සෑගොඩ මංගල හිමි (14) යන අයයි.
මෙම නිවසේ පදිංචිව සිටි දරුවන්ගේ මව තම සැමියා සමග ඇතිකරගත් පවුල් ආරාවුලක් හේතුවෙන් මාසයකට පමණ පෙර දරුවන් හා දරුවන්ගේ පියා අතහැර ගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇති මංගල හිමි නමැති අයද මිය ගොස් සිටින සැකකරුගේ පුතෙකු වන අතර එදින එහිමියන් පන්සලේ සිට නිවසට වැඩම කර සිටියදී අදාළ ඛේදවාචකයට මුහුණ පා තිබේ.
මෘත ශරීර තව දුරටත් පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) සිදුකිරීමට නියමිතය.
කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
- අද දෙරණ
COMMENTS