“මට හැම මුස්ලිම්කාරයෙක්ම මරන්න ඕනෑ” යැයි මේ උන්මත්තකයා රියැදුරු අසුනේ සිට කෑ ගසා කියූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෝ කියති. “අයි ඩිඩ්...
“මට හැම මුස්ලිම්කාරයෙක්ම මරන්න ඕනෑ” යැයි මේ උන්මත්තකයා රියැදුරු අසුනේ සිට කෑ ගසා කියූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෝ කියති.
“අයි ඩිඩ් මයි ජොබ්”(මම මගේ වැඩේ කළා) යැයි ද ඔහු කියා තිබේ.
ඒ සමගම අසල සිටිවුන් පැමිණ ඔහු ව වෑන් රියෙන් බිමට ඇද දමා මුෂ්ටි ප්‍රහාර සමගින් හොඳ හැටි පහර දෙන්නට පටන් ගෙන තිබේ.
විනාඩි දහයක් මේ අන්දමින් පහර කෑවා නම් එතැන ඉතිරිවන්නේ ඩැරන් ඔස්බෝන්ගේ මළමිනිය හැර ඊට වඩා වැඩි දෙයක් නොවේ.
ඒ සමගම පසුපසින් හඬක් නික්මිණි.
“කවුරුවත් ඔහුට අතක් තියන්න එපා. කවුරුවත් අතක් තියන්න එපා.!!”
කෝපාවිෂ්ට පිරිස ආපසු හැරී බලන විට එතැන සිටියේ අන් කෙනෙක් නොව, ෆින්ස්බරි පල්ලියේ තරුණ ඉමාම්වරයා ය.
මේ සිද්ධියෙන් මිය ගියේ මුස්ලිම් ජාතිකයන් ය. නිරාහාර උපවාසය නිමවා සිය නිවෙස් බලා යමින් සිටි ඉස්ලාම් බැතිමතුන් ය. ජෝර්ජ් ඔස්බෝන් වෑන් රියට යට කර මරා දැමුවේ ඔවුන් ය. මරණ ගණන එකක් පමණක් වුවත්” තුවාළකරුවන් ගණන එකොළහක් පමණක් වුවත් ඒ පදික වේදිකාවේ රුහිරු සමග ගලා යමින් තිබුණේ අන්‍ය මත නොඉවසීමේ වෛරයයි. අනෙකාගේ ඇදහිල්ලට නිදහසක් නොදීමේ පවිටු චේතනාවයි. ඒ සියල්ලටමත් වඩා, ඒ පදික වේදිකාවේ ගලා යමින් තිබුණේ” ලන්ඩනයේ පසුගිය දිනවල පැතිර ගිය ත්‍රස්තවාදී රැල්ල නිසා ‘සියලු මුස්ලිමුන් ත්‍රස්තවාදීන්ය’ යන පටු මානසිකත්වය මත පැටව් ගසමින් තිබෙන ජාතිවාදයයි. ජෝර්ජ් ඔස්බෝන් නමැති සුද්දා” ඒ ජාගර ජාතිවාදයේ එක් සංකේතීය පුද්ගලයෙක් පමණි. ඔහු තමන්ම සිතා ජාතිවාදී වූ හෙවත් සෙල්ෆ් රැඩිකලයිස්ඩ් වූ අයෙකු බව හෙළි වී තිබේ.
මේ අතර ජෝර්ජ් ඔස්බෝන් විසින් මුස්ලිමුන් යටකරගෙන යාම සඳහා පාවිච්චි කර තිබුණේ කුලී පදනම මත ලබාගත් වෑන් රියකි. ඒ කුලී රථ සේවයේ හිමිකරුගේ පුතා මේ නරුම අපරාධය ගැන දැනගත්තේය. නමුත් ඔහුද ඒ වෛරී අපරාධය උත්කර්ෂයට නගමින් කියා තිබුණේ ඊට වඩා සහසුද්දෙන්ම මේ ප්‍රහාරය සිදුකරන්නට තිබූ බව ය.
නමුත් මෙවැනි චරිත ජීවත් වන ලෝකයේම ජීවත් වන මේ තරුණ ඉමාම්වරයා කීවේ කුමක්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව ය. පණ නසා පණ රැකිය නොහැකි බව ය. “කවුරුවත් ඔහුට අතක් තියන්න එපා.” යැයි ඔහු පිරිසට තරයේ කියා සිටියේ එනිසා ය.
ජේා්ර්ජ් ඔස්බෝන් නමැති ජාතිවාදී සුද්දාගේ පණ” කෝපාන්විත මුස්ලිමුන් අතින් නැසෙන්නට නොදී ඔහු බේරාගත්තේය. ඔහුගේ ඉරණම විසඳීම නීතියට භාර කළේය.
ඉමාම්වරයා එක රැයින් ජාතික වීරයෙක් බවට පත්වුණේය. ඒ සිත ගැන පුවත්පත් ශීර්ෂපාඨ ලියැවුණේය. ඔහුව ආමන්ත්‍රණය කරනු ලැබුවේ “හීරෝ ඉමාම්” යනුවෙනි. විටෙක ඔහුට ඒ ගැන කතා බස් කරන්නටද මාධ්‍ය සාකච්ඡා පවත්වන්නටද ඇරයුම් ලැබුණේය. එවැනි එක් මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කීවේ කුමක්ද?
“මම වීරයෙක් නෙවෙයි. මම මනුෂ්‍යයෙක්. මම කළේ තවත් මනුෂ්‍යයෙක්ව බේරගත්ත එක..!!!”
දශක තුනක් අප ජීවත් වුණේ සියලු දෙමළුන් එල්ටීටීඊකාරයන් යැයි සිතන රටක ය. අප තවමත් ජීවත් වන්නේ දෙමළා යනු සැකකටයුතු වස්තුවක් මිස අපේ සහෝදරයන් යැයි සිතන්නට නොහැකි රටක ය. අප තවමත් ජීවත් වන්නේ සියලු මුස්ලිමුන් ත්‍රස්තවාදීන් යැයි සිතන ලෝකයක ය. ජාතිවාදය සහ අන්තවාදය නිවුන් සහෝදරයන් ය. එනිසා මෙවැනි ලෝකයක ෆින්ස්බරි පල්ලියේ තරුණ ඉමාම්වරයා වැනි චරිත සිය දහස් ගණනින් මේ රටට සහ මේ ලොවට උවමනා කර තිබේ.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS