බුදුන් උපන් ලුම්බිනිය, වත්මන් භූ දේශපාලන සිතියම අනුව අයත් වන්නේ නේපාලයට ය. පසුගිය දිනෙක නේපාලයේ එකිනෙකට වෙනස් ස්ථාන පහකින්, රටේ වායු දූෂණ...
බුදුන් උපන් ලුම්බිනිය, වත්මන් භූ දේශපාලන සිතියම අනුව අයත් වන්නේ නේපාලයට ය. පසුගිය දිනෙක නේපාලයේ එකිනෙකට වෙනස් ස්ථාන පහකින්, රටේ වායු දූෂණය මනින්නට නියැදි හෙවත් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම සිදුවිය. එවවි පෙනී ගියේ වැඩිම වායු දූෂණයක් වාර්තා වන්නේ නේපාලයේ ලුම්බිනියෙන් බව ය.
වායු දූෂණය සාමාන්‍යයෙන් මනිනුයේ කියුබික් මීටරයකට පවතින අංශු ස්කන්ධය මයික්‍රොග්‍රෑම් වලිනි. මේ අගය සාමාන්‍යයෙන් 2.5කට වඩා වැඩි නොවිය යුතු නමුත් මේ ලියන මොහොතේදී ද ලුම්බිනියේ එම අගය 173.035 ක් වශයෙන් සටහන් වෙයි.22 අසල්වැසි චිත්වාන් නගරයේ මෙය 113.32 ක් වන අතර, මේ තාක් කාලයකට වායු ද දූෂණය උපරිම නගරය වශයෙන් සැලකූ කත්මණ්ඩු අගනුවර එම අගය 109.82 කි. මේ අනුව ලුම්බිනිය, කත්මණ්ඩු නගරය ද අබිබවා රටේ ඉහළම වායු දූෂණය ඇති ස්ථානය බවට පත්ව ඇත.
මේ පුදබිම අවට කාර්මික බිම් සහ කර්මාන්තශාලා අති මහත් රාශියකි. ඒ මදිවාට උතුරු-නැගෙනහිර ඉන්දියාවත්, නැගෙනහිර ඉන්දියාවත් බංග්ලාදේශයත් එකිනෙක යා කරන ඉන්දු-ගංගා තැනිතලාව පිහිටා තිබෙන්නේ ද ලුම්බිණිය ආසන්නයේ ම ය. මෙම ඉන්දු ගංගා තැනිතලාවද රටේ වායු දෂණය උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති ස්ථානයක් වශයෙන් හඳුනාගෙන තිබේ. එයට හේතුව වශයෙන් විද්‍යාඥයන් හඳුනාගන්නේ මෙම කලාපය අවට සිදුවන දැඩි රථ වාහන ගමනාගමනයයි. ශීත කාලයේදී මෙහි වායු දූෂණය උපරිමයක් දක්වා ඉහළ යන බව ද සංඛ්‍යලේඛනවලින් පැහැදිලිව පෙනී යයි.
සියල්ල මෙසේ සිදුවන්නේ ලුම්බිනිය යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් වාර්තා පොතට එක්ව තිබියදී ය. තවද එය ආරක්ෂිත කලාපයකි. බුදුන් උපන් තැන සේ සැලකෙන මායාදේවී පන්සල අවට පවා භාවනානුයෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේලාට මුව ආවරණ පළඳින්නට සිදුව තිබෙන්නේ මේ තත්වය තුළ ය.
ලුම්බිනියේ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානය පවත්වාගෙන යන විවේකානන්ද හිමි බීබීසී පුවත්සේවයට පවසා සිටියේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ නිරන්තර පවතින කැස්සක් මේ වන විට වැළඳී ඇති බවයි. විශේෂයෙන්ම ඇදුම රෝගීන් මෙහි පැමිණි විට ඔවුන්ගේ තත්වය නරක අතට හැරෙන බව ද උන් වහන්සේ පෙන්වා දෙති.
''ඔව්.. අපේ කර්මාන්ත ශාලාව තියෙන්නෙ බුදු හාමුදුරුවො ඉපදුණු තැනට ගොඩක් ආසන්නයෙ තමයි..'' යැයි පවසන්නේ අජේ අජාද් නමැත්තා ය. ඔහු ප්‍රදේශයේ පිහිටා තිබෙන ලොකුම සිමෙන්ති කර්මාන්තශාලාවේ කළමනාකරු ය. !!හැබැයි මේක ලුම්බිනියට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සිමෙන්ති කර්මාන්තශාලා නැති තැන්වලත් මේ විදිහම තමයි" යැයි ඔහු පවසයි.
පසුගිය වසරේ ලුම්බිනිය පුද බිම බලා ආ සංචාරකයන් ගණන මිලියනයකි. මේ සංඛ්‍යාව තවත් වැඩිකරගෙන ලුම්බිනිය රටේ අංක එකේ සංචාරක පුදබිම බවට පත්කරන්නට නේපාල රජයට උවමනා ය. නමුත් වායු දූෂණය නමැති මහා පාරිසරික ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සංවේදී වන්නේද? එය ගැටලුවකි.
- බීබීසී ඇසුරෙනි.
අමාලි ජයතිලක
COMMENTS