විශාල ප්‍රචාරයක් දියත් කරමින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට පෙරේදා (03) කුලියාපිටියේදී මුල්ගල් තැබිණි. වොක්ස්වැගන් නමැති සුප්‍රකට සම...
විශාල ප්‍රචාරයක් දියත් කරමින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට පෙරේදා (03) කුලියාපිටියේදී මුල්ගල් තැබිණි.
වොක්ස්වැගන් නමැති සුප්‍රකට සමාගම කර්මාන්ත ශාලාවක් අරඹන බව මුලදී ප්‍රකාශ වුවත් සැබැවින්ම මේ එම සමාගමද? යන්න බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වූ අතර එම සමාගම පිළිබඳ තොරුතුරු පිළිබඳ අප සොය බැලීය.
මෙරට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටිය, ලබුයාය, මහනුගලන්දවත්ත ප්‍රදේශයේ ඉදිකෙරන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) පස්වරුවේ සිදු කෙරිණි.
ඉකුත් මැතිවරණ සමයේ ආණ්ඩුව ලබාදුන් පොරොන්දුවකට අනුව ඉදිකෙරෙන මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් වසර දෙක හමාරක් තුළ අවසන් කිරීමට නියමිත අතර ජර්මන් රජය විසින් ඒ සඳහා සිදුකර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 26.5 ක් බව රජය පවසයි.
මෙම ව්‍යාපෘතිය මගින් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුවක් ලබාදීමට ද නියමිතය. එමගින් තරුණ තරුණියන් සදහා ඝෘජු රැකියා 3000 ක් ද වක්‍ර රැකියා අවස්ථා 10,000 ක් ද උදා වනු ඇතැයි රජය පෙන්වා දෙයි.
ජර්මනියේ වොක්ස්වැගන් සමාගම යනු ටොයොටා හා ජෙනරල් මෝටර්ස් යන ප්‍රධාන සමාගම් දෙක සමග කරට කර තරග වදින ලෝක වාහන වෙළෙඳපොළේ විශාලතම පංගු කරුවෙකි.
වොක්ස්වැගන් වගේම තවත් සුපිරි වාහන
වොක්ස්වැගන් සමාගම නිපදවන්නේ වොක්ස්වැගන් වාහන පමණක් නොවන අතර කවුරුත් හඳුනන අවුඩි, ලැම්බෝගිනි, ප්‍රොෂේ වෙළඳ නාම යටතේ වාහන නිපදවන්නේද ඔවුන්මය. ඊට අමතරව SEAT, ŠKODA, Bentley, Bugatti, Ducati, Scania,MAN ආදී නාමයන් යටතේද ඔවුහු වාහන නිපදවති. ලෝකයේ වාහන නිපදවන අමුද්‍රව්‍ය සහිත රටවල ඔවුන් නිෂ්පාදන කම්හල් අරඹා ඇති අතර එසේ නොවන නමුත් බෙදැහැරීමේ වෙළෙඳ වාසි ලබාගත හැකි පිහිටීම් ඇති රටවල ඔවුන් වාහන එකලස් කිරීමේ කම්හල් අරඹා ඇත.
මෙම ආයෝජනය සිදු කළේ සෙනොක් නැමැති දේශීය සමාගමයි. ඔවුනට ඒ සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති අනුමැතිය රජය මගින් සැපයුවේ ඩොලර් මිලියන විසිහයයි දශම පහක මුදලක් සපයමිනි.
සෙනොක් සමාගම යනු ලංකාවට 2005 සිට වොක්ස්වැගන් ,අවුඩි ඇතුළු වාහන ගෙන්වූ ජර්මනියේ නියෝජිත ඒජන්ත ආයතනයයි. ජර්මානු වොක්ස්වැගන් මව් සමාගමින් මෙරට එකලස් මධ්‍යස්ථානයක් ඇති කිරීමේ අවසරය ඒ නිසා ඔවුනට පහසුවෙන් ලබාගත හැකිවී තිබේ.
ලංකාවේ වාණිජ වාහන, පතල් කැනීම් ව්‍යාපාරය, යන්ත්‍රෝපකරණ. ට්‍රක්රථ ගෙන්වීම, තේ අපනයනය ඇතුළු අනුබද්ධ සමාගම් 16 ක් සෙනොක් ජාලය සතුවන අතර ඔවුන් ‘යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය‘ නමින් කුලියාපිටියේ ඉදිකරන මෙම දැවැන්ත එකලස් කිරීමේ මධ්‍යස්ථානය මගින් ඉදිරියට විශාල රැකියා අවස්ථාද දායාද කරනු ඇත.
මුල්ගල තැබූ මෙම කම්හල ඉදිකිරීම අවසන් කරන්නට වසර දෙකහමාරක් ගතවන අතර ඒ අනුව මෙහි වැඩ ඇරඹෙනු ඇත්තේ 2019 මැදදීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, උපුල් ජයසූරිය මහතා සහ සෙනොක් ඔටෝ මොබයිල් (පෞද්) සමාගමේ ප්‍රධානී නොයෙල් සෙල්වනායගම් මේ සම්බන්ධ 2015 අගොස්තු මස අත්සන් තබනු ලැබූ ආයෝජන ගිවිසුමේ 17 වන වගන්තිය යටතේ, ආරම්භයේදී මෙම කම්හලේදී 1000 cc හා 2000 cc දක්වා ඩීසල් වාහන පමණක් එකලස් කරනු ඇත.
අවසරය මොන වාහනවලටද?
මෙම වාහන අවසරය ලැබ ඇත්තේ මගී මෝටර් රථ, ක්‍රීඩාවාහන, SUV රථ, බහු උපයෝගිතා වාහන (MUV) හෝ වාණිජ වාහන වෙනුවෙනි. ආරම්භයේදී මෙම වාහන වසර 3 ක කාලයක් සඳහා දේශීය වශයෙන් පමණක් අලෙවි කරන්නටත් ඉන් පසුව නිෂ්පාදනය වාහන විදේශීය වෙළෙඳපොළ වෙත අපනයනය කරන්නටත් අපේක්ෂිතය.
ඩීසල් වාහන එකලස් කිරීමට ආරම්භයේදී පවතින රීතිය පෙට්රල්, විදුලි, හයිබ්‍රිඩ් වාහන සඳහා අපනයන ඉල්ලුම අනුව පසුව වෙනස් කරනු ඇත. මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම මාස 24 ක කාලයක් ඇතුළත ආයෝජනය කරන්නටද නියමිතය. එකලැස් කිරීමට අමතරව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ද ආරම්භ කෙරේ. වසරකට වාහන 500 ක් පමණ නිපදවීමට අවසර ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ “දැනට වොක්ස්වැගන් සමාගමේ දැනට තියන අලුත් සභාපතිවරයා මේ මොකක් ද වෙන්නේ කියල ආදායම් වියදම් ආයෝජන හැම එකක්ම පරීක්ෂා කරගන්න නිසා ඒක ටිකක් ප්‍රමාද වෙයි කිවුව. ඒත් මුලික ආයෝජනය සෙනොක් සමාගමෙන් දාන්න ඊට පස්සේ ඒ අය එනව කියලා“
එම ප්‍රකාශයට අනුව සෙනොක් ඔටෝමොබයිල් නමැති සමාගම ආයෝජන මණ්ඩලය සමග ඇතිකර ගත් ගිවිසුමකට අනුව කුලියාපිටිය කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබිණ.
වොක්ස්වගන් කම්පැනිය ලියාපදිංචි වෙනවා
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අතිරේක සහකාර කොමසාරිස් ඒ.ඒ.එස්. ජයවීර මහතා පැවසුවේ, නව වාහන නිෂ්පාදනයක් ආරම්භ කරන විට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ය.
“දැනට ඒ වගේ කර්මාන්ත ශාලා දෙකක් බී ඕ අයි හරහා ක්‍රියාත්මක වෙනවා. මේ කුලියාපිටිය කර්මාන්ත ශාලාවේත් වොක්ස්වගන් කම්පැනිය ලියාපදිංචි වෙනවා. දේශීය වෙලදපොලට වාහන නිකුත් වෙනවනම් අනිවාර්යෙන්ම මෙම ක්‍රියාවලිය සිදුවිය යුතුයි.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.
රටට විශාල හානියක්
මේ හරහා රටට විශාල හානියක් සිදු වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සභාපති සම්පත් මෙරින්නගේ මහතා අවධාරණය කළේය.
“වාහනේම ගෙනල්ලා කෑලි ටිකක් ගලවලා මෙහේ හයි කරලා වෙලදපොලට දාද්දි අපි ස්ථීර ආනයනකරුවන් හැටියට අපි ගෙවන බද්දයි ඒ වාහන වලට ගෙවන බද්දයි හාත්පසින්ම වෙනස්. දල දේශීය ආදායමින් 50%- 60% ක් එන්නේ රේගුවෙන් ඒකෙනුත් 40%ක් එන්නේ වාහනවලින් .ඉතින් මේ වගේ බදු අහිමි වෙන්න ගත්තොත් දිගින් දිගටම ඉදිරියේදී මං හිතන්නේ රටට ලොකු හානියක් වෙයි.“ යැයිද ඔහු සඳහන් කළේය.
වොක්ස්වැගන් නෙමෙයි
ජාතික ඒකාබද්ධ කමිටුවේ සාමාජික ගෙවිදු කුමාරතුංග පැවසුවේ, කුලියාපිටියේ ආරම්භ වූයේ, වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ආයතනයක් නොවන බව පැහැදිලි බව යි.
“ඒ කුලියාපිටියේ ආරම්භ වුනේ. වොක්ස් වැගන් රථයක තියෙන නිල ලාංජනය සහ ඒ වී අකුර සලකා බැලුවොත් ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කලොත් ඔබට ඒ වෙනස පැහැදිලිවේවි“ යැයිද පැවසී ය.
කොලටි එක තියෙන්න ඕනේ
කෙසේ වෙතත් ඊයේ (04) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූයේ
“ඒගොල්ලෝ බලය නිකන් දෙන්නේ නැහැනේ ඒගොල්ලන්ගේ ලාංඡනයක් දෙනවනම් ඒකේ ගුණාත්මක භාවය ඉටුවෙන විදිහට එර්ගොල්ලන්ගේ එක්ස්පර්ට්ස්ලත් මෙහාට ගෙනල්ලා මෙතන එක්කෙනත් එක්ක ඒක ආරම්භ කරනවා. චීනය ආරම්භ කරලා තියෙන්නෙත් එහෙමනේ. ඒ ස්ටෑන්ඩර්ඩ්ස් බලලා ඒ කොලටි එක තියෙන්න ඕනේ නැත්තන් වොක්ස් වගන් කියලා ගහන්න බැහැනේ, ඒක ගහන විදිහට තමයි සෙනොක් එකට දීල තියෙන්නේ.“
මේක නියම වොක්සවැගන් ද යන්න කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ “ඒක අහන්න ඕනේ වොක්ස්වගන් කාරයාගෙන්. අයිතිකාරයගෙන් මගෙන් අහලා කොහොමද මං කියන්නේ ඒක“
COMMENTS