දුම්කොළ සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාගැනීමට මෙවර අයවැයෙන් සිදුකළ යෝජනාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විරෝධය පළ කර තිබ...
දුම්කොළ සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාගැනීමට මෙවර අයවැයෙන් සිදුකළ යෝජනාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විරෝධය පළ කර තිබේ.
ඒ මහතා පවසන්නේ දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙළක් සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ජනාධිපති අරමුදලට ප්‍රදානය කිරීම සදාචාර විරෝධී බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ ප්‍රඥප්තියට අනුව දුම්කොළ සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගනුදෙනු කිරීම සහ දුම්කොළ සමාගමක් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාගැනීම උචිත නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
එම ප්‍රඥප්තියට ආසියානු කලාපයෙන් අත්සන් කළ පළමු රට ශ්‍රී ලංකාව බව පෙන්වාදෙන අමාත්‍යවරයා එමගින් ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට ආදර්ශයක් ලබා දී ඇති බව කියාසිටී.
එබැවින් දුම්කොළ සමාගමෙන් රුපියල් මිලියන 500ක ප්‍රදානයක් ලබාගැනීම ප්‍රඥප්තියේ වගන්තිවලට එකඟ නොවන බවත්, එය ගැටළුකාරී තත්ත්වයක් බවත් ඔහු අවධාරණය කරයි.
වසර 2020 වන විට දුමෙන් තොර දේශයක් නිර්මාණය කිරීමේ අරමුණින් දුම්කොළ සමාගමෙන් ලැබෙන විවිධ බදු මුදල් මගින් දුම්පානයට එරෙහි ව්‍යාපෘති රජය විසින් ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ගෙන ඇති බවත් සුදුපැහැති දුම්වැටි ඇසුරුම් හඳුන්වාදීම සඳහා වු අමාත්‍ය මණ්ඩල සංදේශය ද ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS