වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ‍්‍රාම වැටුප වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා වි...
වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ‍්‍රාම වැටුප වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
එම තීරණය මෙම ඉල්ලීම සිදුකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූ රණවිරුවන්ගේ නියෝජිතයින් සමග අද (07) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.
ඒ අනුව වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට සහ වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මේ වන විටද මූලික වැටුප සහ දුබලතා විශ‍්‍රාම වැටුප රජය විසින් ලබා දෙයි.
වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට හිමි වන සේවා විශ‍්‍රාම වැටුප පමණක් වසර 12 ක් සම්පූර්ණ නොකර ස්ව කැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ අබාධිත රණවිරුවන්ට මෙතෙක් හිමි නොවුණු අතර මේ කෙරෙහි පැවති කිසිදු රජයක ද අවධානය යොමු නොකෙරිණි.
මේ පිළිබද කළ ඉල්ලීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වනවිටත් එම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගැනීමේ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සදහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙබරවාරී මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට නියමිතය.
හමුදාවේ නීතිය අනුව අබාධිත රණවිරුවෙකුට සේවා විශ‍්‍රාම වැටුපට හිමිකම් කීමට සෙසු නිලයන් වසර 12 ක සේවා කාලයක් ද නිලධාරින් වසර 10 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය.
මෙය රජයේ කිසිදු නිළධාරියෙකුට හිමිවන වරප‍්‍රසාදයක් නොවන අතර ආබාධිත රණවිරුවෙකුට හිමි වන්දි මුදල ද මෙම රණවිරුවන් දැනටමත් ලබාගෙන ඇති අතර එම කරුණුද නොතකා ජනාධිතිවරයා විසින් රජයට අධික වැය බරක් දැරීමට සිදුවුවත්, මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම මෙම සියලූ නිලධාරින් ස්ව කැමැත්තෙන් වන්දි ලබා 2008 වසරට පෙර විශ‍්‍රාම ගනු ලැබුව ද පසුගිය වසර 08 ක කාලයක් තිස්සේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු උද්ඝෝෂණ කි‍්‍රයාවලියකට ද අවතීර්ණ නොවීය.
මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට පටහැනි වුවත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම සියලූ නීති රෙගුලාසී සංශෝධනය කරමින් සේවා විශ‍්‍රාම වැටුප මෙම රණවිරුවන්ට ද ලබාදීමට තීරණය කර තිබේ.
එමෙන්ම මේ වනතෙක් වසර 55 න් පසු ආබාධිත රණවිරුවන් හට දුබලතා විශ‍්‍රාම වැටුප ලබා නොදුන් අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලූ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ජීවිත කාලය පූරාම සිය මූලික වැටුප සහ දුබලතා විශ‍්‍රාම වැටුප ලබාදීමටද මෙවර අය වැය මගින් කටයුතු සම්පාදනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසී ය.
COMMENTS