වාහන සොරකම් හෝ වෙනත් අක්‍රමිකතා මැඩපවත්වා ගැනීම සඳහා නව තාක්‌ෂණයෙන් යුත් නව ලියාපදිංචි කිරීමේ සහතිකයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මෝටර් ර...
වාහන සොරකම් හෝ වෙනත් අක්‍රමිකතා මැඩපවත්වා ගැනීම සඳහා නව තාක්‌ෂණයෙන් යුත් නව ලියාපදිංචි කිරීමේ සහතිකයක් හඳුන්වා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.
මෙම නව ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයේ තොරතුරුවලට අමතරව එම වාහනයේ වර්ණ ඡායාරූපයක්, හිමිකරුගේ වර්ණ ඡායාරූපයක් සහ ඔහුගේ ලිපිනය ඇතුළු තොරතුරු රැසක් ඇතුළත් වන බවද හෙතෙම සඳහන් කළේය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා එම තොරතුරු ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
වාහනයේ හිමිකාරත්වය වෙනස් වන විටදීද ඒ ඒ අයගේ ඡායාරූප සහ ලිපිනය මුල් හිමිකරුවන්ගේ සිට පිළිවෙළින් මුද්‍රණය කෙරෙන බවද මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසී ය.
මේ වන විට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලියාපදිංචි සහතිකය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක චැසි අංක සහ නිෂ්පාදිත දින විනාශවූ ලියාපදිංචි කිරීමේ සහතික ඉදිරිපත් වන බවත් ඒ තත්ත්වය නව සහතිකය තුළින් මඟහැරී යන බවත් හෙතෙම සඳහන් කළේය.
නව ලියාපදිංචි කිරීමේ සහතිකය ගින්නකින්, ජලයෙන්, ඉරා දැමීමට නොහැකි කඩදාසියක මුද්‍රණය කෙරෙන බවත් මෙය හඳුන්වා දීමට එරෙහිව නොයෙක් බලපෑම් එල්ලවීම නිසා ප්‍රමාදයක් සිදුවූ බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
නව සහතිකය හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පූර්ණ සහාය ලබාදෙන බැවින් ඉදිරි මාස කිහිපය තුළ මෙය හඳුන්වා දීමට කටයුතු කරන බවද මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
නව සහතිකය සමඟ වාහනයේ හිමිකරුගේ තොරතුරු ඇතුළත් පරිගණකගත කුඩා හැඳුනුම්පතක් වාහනයේ තබා ගැනීමට ලබාදෙන අතර ආරක්‌ෂක අංශයට හෝ වෙනත් පාර්ශ්වයකට වාහනයේ හිමිකාරත්වය එම කාඩ්පතේ සඳහන් අංකයට කතා කර තහවුරු කර ගැනීමේ හැකියාවද මේ නිසා ඇතිවන නිසා වාහනයේ ආරක්‌ෂාවට වඩා වැදගත් බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS