ආණ්ඩුවට ලොකුම අමාරුව වී ඇත්තේ තමාගේ ආච්චීගේ ඉඩමේ ප්‍රමාණය බවත් හම්බන්තොට හා පොළොන්නරුවේ නියඟයට පීඩා විදින ජනතාව ගැන තැකීමක් නොමැති බවත් ප...
ආණ්ඩුවට ලොකුම අමාරුව වී ඇත්තේ තමාගේ ආච්චීගේ ඉඩමේ ප්‍රමාණය බවත් හම්බන්තොට හා පොළොන්නරුවේ නියඟයට පීඩා විදින ජනතාව ගැන තැකීමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ පව පැවසූයේ අද(28) තම සොයුරු යෝෂිත රාජපක්ෂට අයිති බව කියන දෙහිවල ඉඩම මැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ආණ්ඩුවට ලොකුම අමාරුව වී ඇත්තේ මගේ ආච්චීගේ ඉඩමේ ප්‍රමාණයයි. ඉඩම මනින්න මිනින්දොරුවන් එවලා. හම්බන්තොට හා පොළොන්නරුවේ නියඟයට පීඩා විදින ජනතාව ගැන තැකීමක් නැහැ. වැට් බද්ද ක්‍රියාත්මක නොකිරිම නිසා අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් ණය නොලැබුණත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැ’ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
‘අපි හැම විටම උසාවි නියෝග පිළිපදිනවා. අපි කවදාවත් උසාවියෙන් පැන යන්නේ නැහැ. අපේ පවුලේ කවුරුන් හෝ කෙනෙකු යහපාලන රජය යටතේ හැමදාම වාගේ උසාවියේ. කිසිම වරදක් කර නැහැ. ඒ නිසා උසාවි යන්නත් බය නැහැ. උසාවි ගැන විශ්වාසයක් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වු පසු කළේ මළ මිනි ගොඩ දැමීමයි, ඉඩම් මැනීමයි පමණයි. පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්න බයයි.’ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ යෝෂිත රාජපක්ෂට අයත් බව කියන දෙහිවල, මිහිඳු මාවතේ පිහිටි රුපියල් මිලියන 50 ක් වටිනා ඉඩමේ මැනුම් කටයුතු අද සිදු කෙරිණි.
එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.
COMMENTS