ඉරානයේ යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේදී තීරණාත්මක සාකච්ඡා ආරම්භ වී ඇති පසුබිමක, එම යුරේනියම් තොගය විනාශ කිරීම සඳහා තමන් වඩාත් කැම...
ඉරානයේ යුරේනියම් තොගය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේදී තීරණාත්මක සාකච්ඡා ආරම්භ වී ඇති පසුබිමක, එම යුරේනියම් තොගය විනාශ කිරීම සඳහා තමන් වඩාත් කැමති විකල්ප මොනවාදැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය තරයේ කියා සිටින්නේ ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතු බවයි. එහෙත්, යුරේනියම් තමන් සතු ස්වෛරී අයිතිවාසිකමක් බව ඉරානය අවධාරණය කරයි. එමෙන්ම තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බවද ඉරාන බලධාරීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.
මේ පිළිබඳව සඳුදා සවස සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය සතු යුරේනියම් තොගය වහාම ඇමෙරිකාවට භාරදී, එරටට රැගෙන ගොස් විනාශ කළ යුතු බවයි.
නැතහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයේ සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයක හෝ ඊට සමාන පිළිගත් ආයතනයක නිරීක්ෂණය යටතේ, එම ස්ථානයේදීම හෝ වෙනත් පිළිගත හැකි ස්ථානයකදී ඒවා විනාශ කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
මේ අතර, ඉරානය සතු යුරේනියම් ඉවත් කිරීමට ඔවුන් "ප්‍රතිපත්තියක් වශයෙන්" එකඟ වී ඇති බව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් 'CBS News' නාලිකාව ඉකුත් ඉරිදා වාර්තා කළේය. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බාකේ සඳුදා ප්‍රකාශ කළේ, වත්මන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් යොමුව ඇත්තේ ඇමෙරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් අවසන් කිරීමට මිස න්‍යෂ්ටික ගැටලු පිළිබඳව නොවන බවයි.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම පිළිබඳවද අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණීමට ආසන්න බවයි.
'Axios' සහ 'Al Arabiya' මාධ්‍ය ජාල වාර්තා කරන පරිදි, දෝහා නුවරදී සාකච්ඡාවට ගැනීමට නියමිත ගිවිසුම් කෙටුම්පතට, ඉරානයේ යුරේනියම් තොගයේ අනාගතය පිළිබඳව දින 60ක කාලසීමාවක් තුළ සාකච්ඡා කර තීරණයකට එළඹීමේ එකඟතාවක්ද ඇතුළත් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබෆ් පසුගිය සිකුරාදා කියා සිටියේ, ස්වෛරී රාජ්‍යයක් ලෙස ඉරානය තම අයිතිවාසිකම් කිසිසේත් පාවා නොදෙන බවයි.
ඕමානයේ මැදිහත් වීමෙන් පැවැති සාකච්ඡා වටයකින් පසු, ඉකුත් පෙබරවාරි මස අගදී ඇමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බැවින්, වත්මන් සාකච්ඡාවලට පෙර ඇමෙරිකාව මුලින්ම දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැඟිය යුතු බව ඉරාන නිලධාරීහු වැඩිදුරටත් පවසති.
මේ පුවත තව අයට බලන්න

COMMENTS