පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා වැදගත් කරුණු රැසක් අනාවරණය විය. එහිදී ව...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා වැදගත් කරුණු රැසක් අනාවරණය විය. එහිදී විමර්ශකයන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා, අසාත් මවුලානාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ප්‍රහාරය සිදුවූ දින තුවාන් සුරේෂ් සලේ විසින් අසාත් මවුලානා වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවයි.
එම දුරකථන ඇමතුම හරහා, ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලය අසල වෙරළ තීරයේ සිටින පුද්ගලයෙකුගේ දුරකථනය සියතට ගෙන ඔහුට සහය වී අදාළ ස්ථානයකින් බස්සවන ලෙස කලබලකාරී ස්වභාවයකින් ඉල්ලා ඇති අතර, තමා මඩකලපුවේ සිටින බව මවුලානා පැවසීමත් සමග සුරේෂ් සලේ විසින් දුරකථනය විසන්ධි කර තිබේ. දිලීප පීරිස් මහතා අධිකරණයට තහවුරු කළේ අදාළ පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බය පුපුරුවාගෙන මියගිය අබ්දුල් ලතීෆ් ජමීල් බවයි. එමෙන්ම, එවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසයේ (TID) අධ්‍යක්ෂවරයාව සිටි වත්මන් නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් අදාළ කාලසීමාවේදී ජමීල් ත්‍රස්තවාදියෙකු නොවන බවට වාර්තා සපයා තිබූ බවද අධිකරණයේදී වැඩිදුරටත් කියවිණි.
අබ්දුල් ලතීෆ් ජමීල් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් 2017 නොවැම්බර් 08 වන දින එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත සවිස්තරාත්මක ලිපියක් යොමුකර තිබිණි. ජමීල් අයි.එස් (IS) මතවාදයට දැඩි ලෙස නැඹුරුව සිටින බවත්, 2015 අප්‍රේල් 12 දින සිරියාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකික අයි.එස් සාමාජිකයා වන මොහොමඩ් මුහුසින් නිලාම් සමඟ සබඳතා පැවැත්වූ බවත්, 2014 නොවැම්බර් 12 වන දින තුර්කියට ගොස් ඇති බවත් එමගින් අනාවරණය කර තිබුණි. තවද, ඔහු බටහිර ආහාර හා ඇඳුම් ප්‍රතික්ෂේප කරමින් කොළඹ තරුණයන් අතර අයි.එස් මතවාදය පතුරුවන බවත්, අන්‍යාගමිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බවත් එම බුද්ධි වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබිණි.
මෙම තොරතුරු මත පදනම්ව පොලිස්පතිවරයා විසින් 2017 නොවැම්බර් 09 දින විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය (TID) වෙත පවරන ලදී. එවකට එහි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යටතේ විමර්ශන ක්‍රියාත්මක වූ අතර, 2018 අප්‍රේල් 12 දින ජමීල්ව අදාළ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. එහිදී ඔහු තමා ෂරියා නීතියට කැමති වුවද අයි.එස් සංවිධානයට සම්බන්ධ නොමැති බවත්, තුර්කියට ගියේ සහෝදරයා සමඟ ප්‍රදර්ශනයක් සඳහා බවත් පවසා තිබේ.
පසුව TID අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ වරුණ ජයසුන්දර මහතා විසින් 2019 මාර්තු 06 වන දින සහ ප්‍රහාරයට දින කිහිපයකට පෙර, එනම් 2019 අප්‍රේල් 08 වන දිනද පොලිස්පතිවරයා වෙත වාර්තා කර තිබුණේ ජමීල් නමැත්තා අන්තවාදී අදහස් ඇති පුද්ගලයෙකු නොවන බවත්, ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ ප්‍රදේශවාසීන්ට ද සුහදශීලීව සාමකාමීව ජීවත් වන බවත්ය. කෙසේ වෙතත්, මෙම වාර්තා යොමුකරන කාලසීමාව වන විටත් ජමීල් ඇතුළු පිරිස බෝම්බ නිෂ්පාදනය කරමින් සිටි අතර, වාර්තාව යොමු කර දින කිහිපයක් ඇතුළත පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක විය.
ප්‍රහාරය දිනයේදී ජමීල් පළමුව ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගෙන එහි ප්‍රහාරයක් සැලසුම් කර තිබුණද බෝම්බය නොපිපිරීම හේතුවෙන් එය ව්‍යර්ථ විය. ඉන්පසුව ඔහුගේ දුරකථනයට ලැබුණු ඇමතුමකින් පසු ඔහු හෝටලයෙන් පිටව ගොස් ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ සිය බෑගය තබා අසාත් මවුලානාගේ නිවසට ආසන්නයේ පිහිටි එබනේසර් මුස්ලිම් පල්ලිය වෙත ගොස් තිබේ. එහි රැඳී සිට පිටතට පැමිණි අවස්ථාවේදී අමීර් නමැති හිටපු පොලිස් නිලධාරියෙකු විසින් ඔහුව පරීක්ෂා කර ඇති අතර, ජමීල්ගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාගෙන තොරතුරු තහවුරු කරගැනීමටද ඔහු කටයුතු කර ඇත. ඉන් අනතුරුව ජමීල් නැවත ට්‍රොපිකල් ඉන් ලැගුම්හල වෙත ගොස් බෝම්බය පුපුරුවාගෙන මියගොස් තිබේ.
ජමීල් ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවීමට පෙර ඔහුට ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න හෝ ඔහු එබනේසර් පල්ලිය වෙත යාමේ අරමුණ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත කරුණු අනාවරණය වී නොමැත. එසේම, දිවයින පුරා සිදුවූ ප්‍රහාර මාලාව CID ය විසින් විමර්ශනය කළද, ජමීල් සම්බන්ධ ට්‍රොපිකල් ඉන් සිද්ධිය පිළිබඳ විමර්ශනය TID ආයතනය විසින්ම සිදු කිරීමත්, ජමීල්ගේ නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය ඔවුන් විසින් රැගෙන යාමෙන් පසු ජමීල් නිවසින් පිටවන වේලාවේ සිට බුද්ධි අංශ නිලධාරීන් එම නිවසට පැමිණෙන තෙක් වූ තීරණාත්මක කාලසීමාවට අදාළ දර්ශන අතුරුදන්ව තිබීමත් විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS