මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් ...
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා පවසයි.
භාණ්ඩාගාරයේ සිදුවූ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබෙන ණය මුදලක වාරිකය රජය විසින් ගෙවන ලද අවස්ථාවේ ඒ මැදට පැමිණි අනවසර හැකරුන් පිරිසක් විසින් එම මුදල හරවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත් නොකිරීමට පියවර ගත් බව ලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, පරීක්ෂණ නිම වීමට පෙර තොරතුරු හෙළි කළහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් සැඟවී යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට ඉඩකඩ පවතින බැවින් පරීක්ෂණවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු වූ බවයි.
2025 වසරේ මෙම ගණුදෙනුව සිදුව ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග සිදුවන බැවින් තමනට කරුණු හෙලි කරන්නට හැකියාව ඇත්තේ සීමා සහිතව බවත් පැවසුවේය.
වංචාව සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් සූර්යපෙරුම මහතා පැවසුවේ අමාත්‍යාංශ මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර ඇති බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අදාළ විමර්ශන ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙම වංචාවට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, භාණ්ඩාගාරයේ මුදල් සුරක්ෂිත කිරීමට උපරිම පියවර ගන්නා බවත් ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS