රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක වැට් බදු වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මග හැරිය මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක වෙත දෙස...
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක වැට් බදු වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය මග හැරිය මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක වෙත දෙසැම්බර් 10 වැනිදා අධිකරණයේ පෙනි සිටින්නැයි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ අද ( 04) නියෝග කළේය.
ජනක රත්නායක සහ ඔහුගේ බිරිය අධ්‍යක්ෂ ධූර දරන කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීමේ ආයතනයක්ට අදාල වැට් බදු වංචාව සම්බන්ධව චෝදනා එල්ල වී තිබිණි. ජනතාවගෙන් අය කරගෙන රජයට ගෙවීම පැහැර හැරිය මෙම වැට් බදු වංචාව සිදුකළ බවට චෝදනා ලද ජනක රත්නායක පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූර අපේක්ෂකයෙක් ලෙස තරග වැදුනා සේම මෙම පාර්ලිමේන්තු මැතිවරණයේ දීත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අපේක්ෂාවෙන් තරග වදින්නේය.
ජනක රත්නායක හා ඔහුගේ බිරිඳ වන කුමාරි යසෝදා සිල්වා යන අඹුසැමි යුවළ මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් බවත් ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා සිතාසි නිකුත්කර තිබුණි. නමුත් එම වගඋත්තරකාර ජනක රත්නායක සහ ඔහුගේ බිරිය අධිකරණය හමුවේ පෙනී නොසිට ඒ වෙනුවට එම සමාගමේ වෙනත් අධ්‍යක්ෂවරයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. එබැවින් වගඋත්තරකාර අඹුසැමි යුවළට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම ආයතනය වෙනුවෙන් 2016, 2017, 2018 වර්ෂ තුන සඳහා හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 31,846,248.24ක් හා හිඟ ආදායම් බදු මුදල් වශයෙන් රුපියල් 1,851,658.37ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් ඔවුන් එම මුදල් ගෙවීම පැහැර හැර ඇති බව නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට දන්වා තිබේ.
-lankasara
COMMENTS