රුපියල් බිලියන ගණනාවක මුදල් වංචා කිරීමකට බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිළියන් සහ නිරූපිකාවන් යොදා ගෙන ඇයට මුදල් දුන් මෙරට...
රුපියල් බිලියන ගණනාවක මුදල් වංචා කිරීමකට බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිළියන් සහ නිරූපිකාවන් යොදා ගෙන ඇයට මුදල් දුන් මෙරට අප්‍රකට ධන කුවේරයන් බිය ගැන්වූ ආකාරයටම පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ව ද සිය අල්ලේ නටවමින් සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට කරගෙන යන විමර්ශනවලින් අනාවරණය වෙමින් තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
තිළිණි ප්‍රියමාලි නමැති මේ කාන්තාව පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් සමීපව ඇසුරු කරමින් එම නිලධාරීන්ව තරු පන්තියේ හෝටල්වලදී ද මුණගැසී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
එම අවස්ථාවලදී ඇය විසින් සිය ජංගම දුරකථනයෙන් එම හමුවීම් වීඩියෝ ගත කර ඇති බවත් ඇතැම් කතාබහ පටිගත කර ගෙන තිබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඇගේ ජංගම දුරකථන ඇතුළු පරිගණක උපාංග පරීක්ෂා කිරීමේදී එම වීඩියෝ දසුන් සහ හඬපට මතුවෙමින් ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
එම දර්ශන සහ හඬපට තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.
තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව මුදල් වංචා කළ ඇතැම් ව්‍යාපාරිකයන්ට රන් පොලු යැයි පවසා රන් ගැල්වූ පිත්තල කැබැලි දී තිබෙන බවත් එම පිත්තල කැබැලි ප්‍රවාහනය කිරීමට ද පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් ආරක්ෂාව ලැබී තිබෙන බව ද සඳහන්ය.
ඊට අමතරව ඇගේ ආරක්ෂක උපදේශකයකු ලෙස ද ඉහළ පොලිස් නිලධාරියකු කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.
තිළිණි ප්‍රියමාලි ඇය සමීපව ඇසුරු කළ පොලිසියේ ඉහළ නිලධාරීන් ඇය විසින් සංවිධානය කළ උත්සව සහ ප්‍රසංගවලට ද කැඳවා උපරිම සත්කාරයන් ද කර තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ගයාන් කුමාර වීරසිංහ– දිනමිණ
COMMENTS