රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රටින් පිටව යාමට ඉඩ නොදෙන්නැයි තර්ජනය කරමින් මත්තල, කටුනායක හා රත්මලාන ගුවන් තොටුපළවල නිලධාරීන්ට දිගින් දිගට දුරක...
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රටින් පිටව යාමට ඉඩ නොදෙන්නැයි තර්ජනය කරමින් මත්තල, කටුනායක හා රත්මලාන ගුවන් තොටුපළවල නිලධාරීන්ට දිගින් දිගට දුරකථන ඇමතුම් ගලාගෙන එන්නට පටන්ගෙන ඇතැයි නිලධාරීන් පැමිණිලි කර ඇත.
මත්තල ගුවන් තොටුපළේ කාර්යභාර නිලධාරියාට ඊයේ (12) උදෑසන සිට දහවල් වනවිට එවැනි දුරකථන ඇමතුම් පන්සියයකට වඩා පැමිණි බව ගුවන් තොටුපළ නිලධාරියකු පැවැසීය.
රාජපක්ෂවරුන්ට රටින් පිටවීමට ඉඩ දුනහොත් නිවාස හා කාර්යාල විනාශ කරන බවත්, ඝාතනය කරන බවට තර්ජනය කරන බවත් මේ නිසා නිලධාරීන් තැති ගැනීමට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.
රත්මලාන ගුවන් තොටුපළ වෙතද දිගින් දිගටම රටේ පුරවැසියන් යැයි කියමින් තොරතුරු විමසීමට හා තර්ජනය කිරීමට දුරකථන ඇමතුම් ගලා එන බව හෙළිවිය. රාජපක්ෂ පවුලේ අයට යාමට පැමිණෙන ගුවන් යානාවලට ගුවන් ගමන් සඳහා අවසර නොදෙන්නැයි පාලක මැදිරිවල නිලධාරීන්ටද තර්ජනාත්මක ඇමතුම් ගලා එන බවද එම ආරංචි මාර්ග පැවැසීය.
මත්තල ගුවන් තොටුපළේ පාලක මැදිරිය භාර ජ්‍යෙෂ්ඨ ගුවන් ගමන් පාලක නිලධාරියා ජංගම දුරකථනය විසන්ධි කර නිවාඩු ගොස් සිටි බවද ‘අරුණ’ කළ විමසුමකදී හෙළිවිය. මත්තල පාලක මැදිරියේ සිටි නිලධාරීන් දෙදෙනාටත් දැඩි බලපෑම් එල්ල වී තිබිණි.
ඊයේ (12) වනවිට ගුවන් හමුදාව ගුවන් තොටුපළවල ආරක්ෂාවද තරකර ඇත.
(අරුණ)

COMMENTS