රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්. එම්....
රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව රැගෙන තිබේ.
රුපියල් බිලියන 17ක පමණ මුදලක් බදු සහ ණය මුදල් වශයෙන් ගෙවිය යුතුව තිබියදීත් ඇලෝෂියස් මහතාට මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමට යළි අවසර දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහතා ආන්දෝලනයක් මතුව තිබිණ.
මේ සම්බන්ධයෙන් කිසිදු සිංහල මාධ්‍යයක් තොරතුරු වාර්තා නොකොට නිහඩව සිටියදී මව්රට පුවත්පත සිය සතිඅන්ත පුවත්පතේ මුල් පුවතින් මේ පිළිබද තොරතුරු පළමු වරට රටට අනාවරණය කර සිටීමට පියවර ගත්තේය.
ඉකුත් ආණ්ඩුව සමයේදී බැදුම්කර වංචාව පිළිබදව දිනපතාම පොල්ගෙඩි අකුරින් සිරස්තල පළ කළ මාධ්‍ය මෙදා ඒ පිළිබද වචනයකුදු හෝ සදහන් නොකිරීම විශේෂ සිදුවීමත් විය.
කෙසේවෙතත් මව්රට පුවත්පත පසුගිය සතියේ මෙම පුවත පළකිරීමත් සමග ඒ පිළිබද සමාජයේ පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ්ද ඒ පිළිබදව දැඩි කතාබහක් නිර්මාණය විය.
විශේෂයෙන්ම බදු නොගෙවා පැහැර හැර තිබියදී සහ බරපතළ මූල්‍ය වංචා චෝදනාවන්ට ලක්වූ අයකුට වත්මන් ආණ්ඩුව යටතේ සහන ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වන ආකාරයක්ද දැකගත හැකි විය.
ඒ අනුව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත්පැන් බලපත්‍රය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සති අන්ත මව්රට පුවත්පකේ මෙම පුවත පළ කොට තිබුණේ මෙසේය.
කෝටි ගණන් ණය ගෙවලා නෑ! අරක්කු කොම්පැනිය යළි පටන් ගන්න ඇලෝෂියස්ට අවසර දුන් බලවතා කව්ද?
රුපියල් බිලියන ගණනක බදු නොගෙවීම හේතුවෙන් මීට වසරකට පමණ ඉහතදී බලපත්‍ර අත්හිටුවනු ලැබූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝෂියස් මහතාට අයත් W M මෙන්ඩිස් සමාගමට යළි බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට බරපතළ ආන්දෝලනයක් රට ඇතුළේ මතුව තිබේ.
විශේෂයෙන්ම ඇලෝෂියස් මහතාට අයත් මෙම සමාගමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.5ක (කෝටි 150ක) මුදලක් ගෙවීම පැහැරහැර තිබීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ‘වැඩකරන ජනබලය’ ව්‍යාපාරයේ සාමාජික රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මෙම බදු මුදල ලබා නොගෙනම එම සමාගම නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී ඇති බවයි.
මීට අමතරව මෙම සමාගම ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 03ක් (කෝටි 300), මහජන බැංකුවෙන් රුපියල් බිලියන 05ක් (කෝටි 500), පීපල්ස් ලීසිං සමාගමෙන් රුපියල් මිලියන 800ක්, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවෙන් රුපියල් බිලියන 2.6ක් (කෝටි 260) වශයෙන් විශාල ණය කන්දරාවක් ලබාගෙන ඇති බවද රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.
ඒ අනුව අදාළ සමාගම මෙම ණය කන්දරාව පියවා නොමැති බවත්, ඊට අමතරව සුරාබදු වශයෙන් රුපියල් බිලියන 1.5ක මුදල ගෙවා නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා එවැනි පසුබිමක් යටතේ නැවත වතාවක් අර්ජුන් ඇලෝෂියස් මහතාට සිය මත්පැන් සමාගම ආරම්භ කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව බැඳුම්කර චෝදනාවට ලක්වූ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව සමගද ගනුදෙනු කරමින් සිටින බව මේ සිදුවීම හරහා පැහැදිලිවම දැකගන්නට ඇති බවද කුමුදේශ් මහතා අවධාරණය කර සිටියේය.
කෙසේ වෙතත් ඉකුත් යහපාලන ආණ්ඩුව පැවැති සමයේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කර සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බවත්, ඒ හරහා උපයාගත් සියලු දේපළ රාජසන්තක කරන බවත්ය. එවකදී සියලු මාධ්‍ය මෙම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනපතාම පාහේ වාර්තා කරන ආකාරයක්ද දැකගත හැකි විය.
COMMENTS