ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතාගෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු විමසීමට නියමිත බව වාර්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතාගෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කරුණු විමසීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ ප‍්‍රශ්නය අල්ලාගෙන ඇතැම් අය ආණ්ඩුවේ ප‍්‍රශ්න වැඩියි කියා සිතනවා නම් එය වැරදි බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
ආණ්ඩුව තුළ වෙනසක් ඇතිවනු ඇතැයි විපක්‍ෂයේ අදහස වැරදි බවත්, ආණ්ඩුව දිගටම පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මොකද වුණේ?
පසුගිය සිකුරාදා (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කිරීමත් සමග ඉරිදා (12) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ගම්මන්පිල මහතා ඉල්ලා අස් විය යුතු බවට ප්‍රකාශ කොට සිටියා.
ඊට සුළු මොහොතකට පසු ගම්මන්පිල අමාත්‍යවරයා ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කොට සිටියේ මෙය තමන් තනිව ගත් තීරණයක් නොවන අතර මෙයට පිළිතුරු දීම සඳහා තමන් පසු දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන බව යි.
ඒ අනුව පෙරේදා (13) දින උදය ගම්මන්පිල මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කාරියවසම් මහතාට පිළිතුරු ලබා දුන් අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ජනපති, අගමැති ඇතුළු රජය ගත් සාමූහික තීරණයක් බවයි.
ඒ අනුව සාගර කාරියවසම් මහතා අභියෝග කර ඇත්තේ සිය පක්ෂය විසින් බිහිකළ ජනාධිපතිවරයාටත්, සිය පක්ෂයේ සදාදරණීය නායක අග්‍රාමාත්‍යවරයාටත් බව ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම කාරියවසම් මහතාගේ නිවේදනය පොහොට්ටුවේ නායකයින්ගේ අනුදැනුමකින් තොරව නිකුත් කළ අත්තනෝමතික එකක් බව අමාත්‍යවරයා අවධාරණය කළා.
මාධ්‍ය හමුව අවලංගුයි
පෙරේදා (13) දින පවත්වන්නට සූදානම් කොට තිබූ මාධ්‍ය හමුවක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කළා.
මෙහි දී අදහස් දැක්වීමට නියමිතව තිබුණේ මේවන විට ආන්දෝලනයකට ලක් වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මහලේකම් සාගර කාරියවසම් මහතා බවයි වාර්තා වූයේ.
උදය ගම්මන්පිල මහතා පිළිබඳව තවදුරටත් අදහස් දැක්වීම පිණිස අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු සූදානම්ව සිටි බව පැවසෙනවා.
මේ අතර පුවත් ආරංචි මාර්ග පවසන්නේ පක්ෂයේ ඉහළින් ලද උපදෙස් මත මෙම මාධ්‍ය හමුව අවලංගු කොට ඇති බවයි.

COMMENTS