මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා දින දෙකක් තුළදී ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීත...
මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා සහ කොස්ගොඩ තාරක යන සැකකරුවන් දෙදෙනා දින දෙකක් තුළදී ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ එම මරණවල අධිකරණමය නොවන ඝාතනවල පවතින සියලු ලක්ෂණ පවතින බවයි.
පුද්ගලයන්ගේ ස්වභාවය සහ ඒ ඒ පුද්ගලයින්ට එරෙහි චෝදනාවල ස්වභාවය නොසලකා තමන් භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට පොලීසියට මෙන්ම රජයට ද අත්හළ නොහැකි වගකීමක් පැවරී ඇති බවද නීතීඥ සංගමය පෙන්වා දෙනවා.
අත්අඩංගුවේ සිටින නිරායුධ සැකකරුවන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය අවස්ථා ගණනාවකදී අපොහොසත් වී ඇති බවත් එම සිදුවීම පිළිබඳව බැරූරුම් ලෙස අවධානය යොමු කර එවැනි සිදුවීම් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
කොස්ගොඩ තාරක හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත මාරු කර ඇති බවට ඊයේ (12) දිනයේ ඔහුගේ නීතිඥවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයද දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නීතිඥවරයාගේ එම පැමිණිල්ලට අනුව ඊයේ දිනයේම පොලිස්පතිවරයාව විද්යුත් තැපීලෙන් හා WhatsApp මාර්ගයෙන් දැනුවත් කර තිබියදීත් මෙම මරණය සිදුවීම මරණ නීතියේ ආධිපත්‍යයට පටහැනි බවත් එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
COMMENTS