ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන...
ශාසනයට දරුවන් පූජා කළ පවුල්වලට අවශ්‍යතාව මත රැකියාවක් දීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. රැකියා ලක්ෂයේ ව්‍යාපෘතියෙන් එම රැකියා ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
දෙමාපියන් රැක බලා ගැනීමට සිදුවීම නිසා ඇතැම් භික්ෂූන් වහන්සේට ශාසනික මෙහෙවර ඉටුකිරීම අපහසු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවද ජනාධිපතිවරයා කීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ අද (3) පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමිනි.
"වඩා වැදගත් මතවාදය හා බලවේගයි"
සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ නොව තමා බලයට ගෙන ආ මතවාදය හා බලවේගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ එම මතවාදය පරාජය කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා තමා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම යැයිද කීවේය.
තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි ද ජනාධිපතිවරයා කීවේය.
තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව ජනාධිපතිවරයා කීය.පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කළ බවත්, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්තාද අහුරා ඇති බවත් හෙතෙම පැවසීය.
තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් එම අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS