විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට විරුද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැ...
විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට විරුද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පැමිණිල්ල මෙසේ ය.
පූජ්‍ය මාපලගම හේමානන්ද හිමි
සංඝානන්දරාමය
සංඝානන්ද මාවත
මාතලේ
2021 අප්‍රේල් 13
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1
ගරු ජනාධිපති තුමනි,
බුද්ධ චරිතය, ත්‍රිපිටකය සහ බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව වැරදි අර්ථ කථන දෙමින් දුර්මත පතුරුවන අය ගැන සොයා බැලීමට ඔබතුමන්ගේ නියෝගයෙන් පත් කළ කමිටුව ඉතා කාලෝචිත පියවරකි .
”ශ්‍රී ලංකාව ථෙරවාදී බෞද්ධ මූලස්ථානයයි. පිරිසිදු ථෙරවාදී බුදුදහම විනාශ කර දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණ වැළැක්වීමට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. දුර්මතධාරීන් ශාස්ත්‍රීයව පරාජය කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යය”. ජනපති නියෝගයේ පූර්විකාව ලියැවී ඇත්තේ එලෙසිනි.
මෑතකදී මාගේ දායක සභාවේ අයෙක් ඉදිරිපත් කළ කරුණක් ඔබගේ අවධානයට යොමු කරමි. (අදාල සාක්ෂි උපලේඛනයක් ලෙස අමුනා ඇත) කරුණු විමසීමේදී පසුගියදා පැවති රූ රැජින තරඟයකදී සද්ධර්මයේ මුදුන් මල්කඩ වූ ”චතුරාර්ය සත්‍ය” අවභාවිතා කොට ඇති බව පසක් විය.
එදා සිද්ධාර්ථ කුමරු ඔටුන්න හැර දා චතුරාර්ය සත්‍ය සොයා ගියේය. මෙදා කාන්තාවක් චතුරාර්ය සත්‍ය අවභාවිතා කොට රූ රැජින කිරුළක් හඹා ගොස් ඇත . ආර්ය සත්‍ය වැනි පරම ඝාම්භීර ඉගැන්වීමක් රූ රැජින තරඟයක කිරුළ ලබා ගැනීමට අවභාවිතා කිරීම වැරදි පුර්වාදර්ශයකි.
චතුරාර්ය සත්‍ය යනු නිවන් මග පසක් කරගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ප්‍රතිපදාව ඇතුලත් ඉගැන්වීමයි. එවැනි උතුම් දේශනාවක් මෙවැනි අතිශය අලජ්ජි, ලෞකික දෙයක් ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය.
මෙය පිරිසිදු ථේරවාදී බුදු දහම ”විකෘතියක්” මෙන්ම ”හෑල්ලුවට” ලක්කිරීමකි. කරුණු එසේ හෙයින් මෙම අකටයුත්ත ගැන කරුණු සොයා බලන ලෙස සහ මින් ඉදිරියට මෙවැනි අකටයුතු දෑ සිදුවීමට ඇති ඉඩ අවුරා දමන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙත් සිතිනි,
අත්සන් කළේ,
මාපලගම හේමානන්ද
COMMENTS