කො විඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරූ ඉරනතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගොප...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරූ ඉරනතිව් දුපතේ භූමදානය කිරීම සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. යම් පුද්ගලයෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මිය යාමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඥතීන් විසින් නොපමාව සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කළ යුතුය.
එම දැනුම් දීම අනුව අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා හෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා විසින් දේහය භූමදානය කිරීමේ එකඟතාවය අදාල මියගිය පුද්ගලයාගේ ඥාතින් ගෙන් ලබා ගත යුතුය.
ඉන් අනතුරුව හදිසි මරණ පරීක්ෂණ වාර්තාවේ එම මරණය භූමදානය කිරීම සඳහා රැගෙන යනු ලබන ස්ථානය ද ඇතුලත් විය යුතු වන අතර දේහය රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සකස් කිරීම අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් සුදානම් කළ යුතුවේ.
මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ දේහය භූමදානය සඳහා රැගෙන යනු ලබන දිනය අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් ඥාතීන්ට දැනුම් දිය යුතු වන අතර දේහය බහාලීම සඳහා වන පෙට්ටිය ඥාතින් විසින් සැපයිය යුතුය.
මළ සිරුර භූමදානය කිරීම සඳහා රැගෙන යාමට සුදානම් කිරීමේදී ආගමික වතාවත් කිරීමට අවස්ථාව ලබාදෙන අතර එයද සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමවේදයන්ට යටත්වය.
මියගිය කොවිඩ් ආසාදිතයින්ගේ දේහයන් භූමදානය සඳහා රැගෙන යනු ලබන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සහ වැලිකන්ද රෝහලේ සිටයි. එම ස්ථාන දෙකට අදාළ දේහයන් ගෙනවිත් භාරදීම අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරින් විසින් කටයුතු කළ යුතුය.
ඉහත ස්ථාන දෙකේ සිට සෑම උදෑසනකම පෙරවරු 5.30 ට නාච්චිකුඩා තොටුපොළ දක්වා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ දේහයන් රැගෙන යෑම සිදුකරනු ලබනවා. එතැන සිට ඉරනතිව් දුපත බලා දේහයන් රැගෙන යාම සිදු කෙරේ.
මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගැනීමට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරනතිව් දුපත බලා යෑමට අවසරය හිමිවන අතර එය ද පුර්ව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව සිදුකරනු ලබනවා.
දේහය තැන්පත් කර ඇති පෙට්ටිය කිසිදු හේතුවක් මත විවෘත කිරීමට අවසර හිමි නොවෙන අතර අවසන් කටයුතු කිරීමේදී දේහය ඇතුලත් පෙට්ටියේ හැසිරවීම යනාදී කටයුතු සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැක.
මෙම දේහයන් භූමදානය කිරීමට රැගෙන යාමේදී ආරක්ෂක අංශවල ආරක්ෂාව සැපයෙන අතර සෞඛ්‍ය බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ව ඇත්තේ.

COMMENTS