මෑ ත ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහල්වල බරපතළ මට්ටමේ ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පැනනැඟී ඇති බවටත් ඖෂධ ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊට ...
මෑත ඉතිහාසයේ පළමු වරට මෙරට රෝහල්වල බරපතළ මට්ටමේ ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ හිඟයක් පැනනැඟී ඇති බවටත් ඖෂධ ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊට විසඳුම් නොදී මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
"මගෙ ගාව තියෙනවා මේ එක රෝහලක විස්තර. මේ රෝහලේ ඖෂධ වර්ග 50කට වඩා හිඟයි. නර්ව්ස් සිස්ටම් එකට ඖෂධ 4ක් නෑ. විටමින් මිනරල් වර්ග 4ක් නෑ. ඇන්ටිසෙප්ටික් ඒවා නෑ. එතකොට ෆන්ගල් ඒවාට තියෙන ටැබ්ලට් එක නෑ. ඒ වගේ හැම එකකටම ... හෘදවස්තු රෝගවලට, ශ්වසන රෝගවලට තියෙන ඖෂධ හිඟයි. මේ එක රෝහලක හිඟ ලැයිස්තුව මං මේ ඉදිරිපත් කරන්නෙ.
ඒ විතරක් නෙවෙයි දැන් බොහෝ රෝහල්වල ශල්‍යකර්ම කරන්නට බෑ, ඊට හේතුව ශල්‍යකර්ම කරන්න අවශ්‍ය උපාංග නෑ. දැන් මේ කියන්නෙ "ජාතික රෝහලේ හදවත් සැත්කම් වලට බෙහෙත් නෑ. සැත්කමට ගිය හිමිනමට පිටින් ගේන්න ලැයිස්තුවක්ම දීලා" මේ තියෙන්නෙ ඒ ලැයිස්තුව ( පුවත්පත් වාර්තාවක් පෙන්වයි ) ඒකෙ කියලා තියෙනවා මේවා ගේන්න, නැත්තම් කරන්න බෑ කිව්වා කියලා.
මම ඊයෙ පෙරේදා කතා කළා මහනුවර රෝහලට හෘද රෝග සැත්කම් සඳහා. ඒ වෛද්‍යවරයෙක් කිව්වෙ පුළුවන් ඉක්මනට කරලා දෙන්නම් වැඩේ, ඒකෙ සූචර් නීඩ්ල්ස් පවා නෑ. ඒ වගේ ශල්‍යකර්මය කිරීමට අවශ්‍ය බොහෝ දේවල් නෑ.
මෙවැනි තත්වයක් මෑත ඉතිහාසයේ මේ ලංකාවෙ සිදුවෙලා නෑ. රෝහල්වල ශල්‍යකර්ම පරක්කු වෙනවා, ඒවාට අවශ්‍ය බඩු භාණ්ඩ නෑ. ඒවාට අවශ්‍ය ඖෂධ නෑ. රෝගීන්ට ශල්‍යකර්මයෙන් පස්සෙ දෙන්න තියෙන ඖෂධ නෑ. මෙන්න මේ වගේ ඉතාමත්ම නරක තත්වයක් අද ඖෂධ පිළිබඳ තියෙන්නෙ. හැබැයි ඇමති ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙක්.
අපට බොරුවට බැන බැන ඉන්නවා, කිසිම දෙයක් මේකෙ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නෙ කතා කරන්න දෙයක් නෑ, කතා කරලා වැඩක් නෑ, කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ කියලා. බොරුවට කතා කරලා කියනවා අලුතින් බෙහෙත් හදනවාලු. මොකක්ද මේ බෙහෙත් හදනවයි කියන්නෙ ? දැන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙ එක ලයින් එකක තියෙන එක බෙහෙතක් අයින් කරලා ඒ ලයින් එකේ ඒ ජාතියෙම ටැබ්ලට් එකක් හරි කැප්සුල් එකක් හරි අලුතින් හදනවා. හදලා කියනවා මෙන්න අපි අලුත් ඖෂධයක් හැදුවා කියලා. මම අහනවා මම ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ධාරිතාව මිලියන 2000 ඉඳලා මිලියන 4000 දක්වා වැඩිකළා. මට කියන්න ඊට වඩා අඩුම ගාණෙ පෙති 4ක් හරි වැඩිකරලා තියෙනවද මේ අවුරුද්ද තුළදි ? එක පෙත්තක් වැඩිකරලා තියෙනවාද කියලා ?? නෑ ! දැන් කරන්නෙ ඒ ලයින් එකේ යන එක පෙත්තක් අයින් කරලා තව එකක් දානවා. මේ මාධ්‍ය සංදර්ශන නේ ? මේ අහිංසක මිනිස්සුන්ව මුලාකරනවා අලුත් බෙහෙත් හදනවා කියලා අන්තිමට ගහනවා සෞභාග්‍යයේ දැක්ම කියලා ..." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS