හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදට වසර 8ක් සපිරේ. 2012 මැයි 17 වන දින උදෑසන වසීම් තාජුඩීන්ගේ පිළිස්සුනු මළසිරුර නාරාහේන්පිට ශාලි...
2012 මැයි 17 වන දින උදෑසන වසීම් තාජුඩීන්ගේ පිළිස්සුනු මළසිරුර නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලින් හමුවූයේ ඔහුගේම මෝටර් රථයේ තිබියදීය.
මෙය හුදෙක් ඔහුගේ මෝටර් රථය තාප්පයක ගැටීමෙන් ගිනි ගැනීම නිසා සිදුවූ අනතුරක් බව හුවා දැක්වීමට පොලිසිය උත්සාහ කළ ද ඔහුව 2012 මැයි 16 වනදා රාත්‍රියේ පැහැරගෙන ගොස් වධහිංසාවට භාජනය කර, පණ පිටින්ම ඔහුගේම මෝටර් රථය තුළට දමා ගිනිතබා ඇති බව පසුව කළ විමර්ශන වලදී අනාවරණය විය.
මෙම සිදුවීම පිළිබඳ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
තාජුඩීන්ගේ බිඳිණු අස්ථි කොටස් අතුරුදන් කර, සාවද්‍ය අධිකරණ වාර්තා සැපයූ එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ වෛද්‍ය බලපත්‍රය ද මාස 6ක කාලයකට අත්හිටුවනු ලැබුණු අතර ඔහුට එරෙහිව ද නඩුවක් ගොනු කෙරිණි.
කෙසේවෙතත් ඝාතනයෙන් වසර 8ක් ගතවන මේ මොහොත වන විටත් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ ඉහළම මට්ටමේ නිලධාරීන් මිස සැබැවින්ම තාජුඩීන් ඝාතනය කළ මිනීමරුවන් අනාවරණය කරගෙන නැත. ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක් ලෙස හෝ පෙනෙන්නට ඇත්තේ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මුඛ පිළිකාවක් වැළඳී නඩුවටත් පැමිණෙන්නට නොහැකි තැනකට වැටී සිටීම පමණි.
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සමාජය තුළ සෘජුවම චෝදනාව එල්ල වී තිබුණේ රාජපක්ෂ පවුලේ පුතුන් වෙත වූ අතර ඔවුන් පැවසුවේ තමන් ඒ ගැන කිසිවක්ම නොදන්නා බවකි. තාජුඩීන් ඝාතනයට යුක්තිය ඉටු කරන බව පවසමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ද තාජුඩීන් ඝාතනය ඡන්ද කාලයට පමණක් කරළියට ගත්තා විනා විමර්ශන අවසන් කර ඝාතකයින් නිශ්චිතව නම්කර නඩු පැවරීමක් සිදුකළේ නැත.
ඒ අනුව එක්දරු පියෙකුව සිටියදී මීට වසර 8කට පෙර පැහැරගෙන ගොස්, කෲර ලෙස වධහිංසාවට ලක් කර, අස්ථි බිඳ දමා, තියුණු ආයුධවලින් පහරදී තුවාල කර, පුළුස්සා, මරා දැමුණු වසීම් තාජුඩීන් නම් තරුණ, දීප්තිමත් ක්‍රීඩකයා මළවුන් අතර සිට අපට පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට යුක්තිය බොහෝ දුර බවය.
-lankanewsweb
COMMENTS