ලෝකයේ වෙනත් රටවල අකුරට වැඩකිරීම යනු නියමිතව වේලාවට වැඩ කිරීම වුවත් ලංකාවේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක් බව කථානාය...
ලෝකයේ වෙනත් රටවල අකුරට වැඩකිරීම යනු නියමිතව වේලාවට වැඩ කිරීම වුවත් ලංකාවේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.
144 වන ලෝක තැපැල් දින උත්සවයට සහභාගී වෙමින් කථානායක කරූ ජයසූරිය මහතා එසේ කීය. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අද 09 සවස පැවැති 144 වන ලෝක තැපැල් දින උත්සවයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ ආරාධනයෙන් කථානායක කරූ ජයසූරිය මහතා සහභාගී විය.
මෙහිදී තව දුරටත් අදහස් දැක් වූ කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කීය.
“තැපැල් සේවය ලෝකයේ ඉතා පැරැණි සේවයක්. එදා තැපැල් නිළධාරින්ට විශාල පිළිගැනීමක් තිබුණා. ලෝකයේ බොහෝ රටවල තැපැල් සේවය මේ වන විට නවීන තාක්ෂණය සමගින් මෙන්ම නව අංගයන් එකතු කිරීම මගින් අලුත් ගමනක් යන්න පටන් ගෙන තිබෙනවා. අපේ රටෙත් තැපැල් සේවයට නව අංගයන් එකතු කරලා ඒ වගේම නවීන තාක්ෂණය හඳුන්වා දීම මගින් මහජනතාවට බරක් නොවන ආකාරයේ තැපැල් සේවයක් බිහි කරන්න ඕන. ඒ සඳහා දැනටමත් තැපැල් අමාත්‍යාංශය සිය නිළධාරින් පෙරටු කර ගෙන කරගෙන යන ක්‍රියාදාමය පැසසුම් කටයුතුයි. අපේ රටේ බොහෝ දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් සමහර දේවල් ගැන කණගාටුවක් ඇති වෙනවා. ඇතැම් ස්ථානවල මාර්ග අවහිර කරගෙන ටයර් පුළුස්සාගෙන විවිධ උද්ඝෝෂණ කරනවා. මේව ගැන සතුටු වෙන්න බෑ.”
ලෝකයේ අනෙකුත රටවල අකුරට වැඩ කරනව කියන්නේ නියමිත වේලාවට ඇවිත් නියමිත පරිදි වැඩ කරලා කියමිත වේලාවට පිටත්ව යාමයි.
අටට වැඩ පටන් ගන්නවානම් අටට ඇවිත් හතරට අවසන් වනවානම් හතරට අවසන් කර යාමයි. නමුත් අපේ රටේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම විම කණගාටුවට කරුණක් බවද කතානායක රූ ජයසූරිය මහතා මෙහිදී කිය.
මෙහිදී අදහස් දැක්වූ තැපැල් හා තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කළේ පසුගිය කාලය තුල තැපැල් සේවකයින්ගේ දැවෙන ගැටළු රැසකට විසදුම් ලබා දී ඇති බවත් ඉදිරියේදී තැපැල් කරුවන්ට යතුරුපැදි ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත් කීය.
විශ්ව තැපැල් දිනය නිමිත්තෙන් පැවැති තරඟවලින් ජයගත් සිසු සිසුවියන්ට සහ වැඩි ආදායමක් ඉපයූ තැපැල් කාර්යාලවලට ද ත්‍යාග සහ සහතික ප්‍රදානයද මෙහිදී සිදු විය.
(මොහොමඩ් ආසික්)
COMMENTS