රක්ෂණාවරණයක් ලබා ගැනීම සඳහා තමන් මරණයට පත්වූ බව ඇඟවූ සැමියා, සැබවින් ම මිය ගිය බව සිතා තම දරුවන් දෙදෙනා ද සමග සිය දිවි නසා ගත් කාන්තාවක පි...
රක්ෂණාවරණයක් ලබා ගැනීම සඳහා තමන් මරණයට පත්වූ බව ඇඟවූ සැමියා, සැබවින් ම මිය ගිය බව සිතා තම දරුවන් දෙදෙනා ද සමග සිය දිවි නසා ගත් කාන්තාවක පිළිබඳව චීනයෙන් වාර්තා වේ. චීනයේ ෂිංහුවා පොලිසිය ප්‍රකාශ කළේ, අදාළ සැමියා පොලිසියට පැමිණ භාර වූ බව ය.
අදාළ සැකකරු කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථයක් ගඟකින් සොයා ගැනුණු අතර ඔහුගේ මළ සිරුරක් හමු නොවීය. මෝටර් රථය ගඟක තිබූ හෙයින් ඔහු රිය අනතුරකට ලක්ව ගඟට වැටී මිය ගිය බවට අනුමාන කර තිබිණි.
34 හැවිරිදි සැකකරු ඔහුගේ මෙම උපාය පිළිබඳව සිය බිරිඳ දැනුවත් කර නොතිබූ අතර බිරිඳ විශ්වාස කර ඇත්තේ, සිය සැමියා සැබවින් ම රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව ය.
ඒ අනුව, එම සිද්ධිය වාර්තා වී සති තුනකට පසුව සියදිවි හානි කර ගන්නා බවට සටහනක් තබා ඇය දරුවන් දෙදෙනා ද සමග දියේ ගිලී මරණයට පත්ව තිබේ.
මෙම සිද්ධිය ආරංචි වීමෙන් පසු හේ නමැති වාසගම සහිත සැකකරු හුනාන් පළාතේ ෂිංහුවා පොලිසිය වෙත පැමිණ භාර වී ඇත්තේ, පසුගිය සිකුරාදා ය.
ෂිංහුවා පොලිසිය පවසන්නේ, සැකකරුට එරෙහිව රක්ෂණ වංචා සහ හිතාමතා දේපළ හානි සිදු කිරීම යන චෝදනා යටතේ නඩු පවරන බව ය.
සැකකරුගේ රංගනය
ෂිංහුවා පොලිසිය පවසන පරිදි අදාළ සැකකරු පසුගිය සැප්තැම්බර් මාසයේදී බිරිඳට නොදන්වා චීන යුආන් මිලියනයක (අමෙරිකානු ඩොලර් 145,000) ජීවිත රක්ෂණාවරණයක් ලබා ගෙන තිබේ.
'වොයිස් ඔෆ් චයිනා' (Voice of China) ගුවන් විදුලි සේවාව වාර්තා කළේ, අදාළ ජීවිත රක්ෂණාවරණයේ ප්‍රතිලාභියා ලෙස සැකකරු සිය බිරිඳ නම් කර තිබූ බව ය.
සැප්තැම්බර් 19 වන දා තමන් රිය අනතුරකින් මරණයට පත්වූ බව ඇඟවීම සඳහා ඔහු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් භාවිත කර ඇතැයි පොලිසිය පවසයි. සැකකරු යුආන් 100,000කට අධික මුදලක් ණය වී ඇතැයි තහවුරු වී තිබේ.
මේ අතර, ඔක්තෝබර් 11 වන දා 31 හැවිරිදි සැකකරුගේ බිරිඳ, සිව් හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා සහ 3 හැවිරිදි දැරියගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස ආසන්නයේ විලක තිබී සොයා ගැනිණි. ඇය 'වී චැට්' (WeChat) නමැති සමාජ වෙබ් අඩවියේ තබා ඇති සියදිවි හානි කර ගැනීම පිළිබඳ සටහනෙන් කොටසක් වොයිස් ඔෆ් චයිනා ගුවන් විදුලියේ ප්‍රචාරය විය.
COMMENTS