යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැරේදී ඊළාම් සිතියමක් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව යාපන...
යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැරේදී ඊළාම් සිතියමක් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන තිබේ.
එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති පසුගිය ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලු වලින් අලංකාර කොට පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සදහා කෝවිලේ බාරකාර මණ්ඩලයේ හා කෝවිලේ තරුණ සංගමයේ පස් දෙනෙකු නම් කොට ඔවුන්ට කොළඹට පැමිණෙන ලෙස පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් දැණුම් දී තිබුණි.
ඔවුන්ගෙන් ලබා ගත් කට උත්තර වලට අනුව මේ සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදු කළ ක්‍රියාවක් මිස එය අහම්බෙන් සිදු වූ සිදුවීමක් නොවන බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් තහවුරු කරගෙන තිබේ.
කොළඹට කැදවා කළ ප්‍රශ්න කිරීමට අනුව මේ සිද්ධිය සදහා නව දෙනෙකු සම්බන්ධ බවට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබේ.
ඉන් දෙදෙනෙකු කෝවිලේ පූජකවරු වන අතර තවත් අයෙකු යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වෙයි. ඉතිරි හය දෙනා කෝවිල හා සම්බන්ධව පිහිටුවාගෙන ඇති තරුණ හින්දු සංගමයේ සාමාජිකයෝය.
මේ පිරිස අතරින් පස් දෙනෙකු කොළඹට ගොස් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට කට උත්තර ලබා දීමෙන් පසුව ඔවුන්ව අත් අඩංගුවට ගනු ඇතැයි යන සැකය මත එම පස් දෙනා යාපනය දිසා අධිකරණයට පෙත්සමක් ගොණු කරමින් ඔවුන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ මෙන් ඉල්ලා තිබුණි.
ඔවුන් යාපනය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් වරදක් කොට නොමැති නිසා පොලීසිය විසින් වැරදි චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට සූදානම් බැවින් එම අත් අඩංගුවට ගැනීම වළක්වා නියෝගයක් නිකුත් කරණ ලෙසයි.
මේ පෙත්සම සිංහල භාෂාවෙන් තවත් තොරතුරු රැසක් සමග ඉදිරිපත් කොට තිබු නිසා එම පෙත්සම දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරණ ලෙස යාපනය දිසා වීනිසුරු කනකරත්නම් කේසවන් මහතා නියෝග කොට තිබේ.
පොලීසිය විසින් මේ පිරිසට එරෙහිව යාපනය දිසා අධිකරණය වෙත නඩුවක් ගොණු කොට ඇති නිසා යාපනය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම යළි දෙමළ භාෂාවෙන් සකසා ඉදිරිපත් කොට කෝවිලේ බාර කරුවන් ඇතුළු පස් දෙනාට ලබන නොවැම්බර් මස 16 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කොට තිබේ.
මේ අතරතුර පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් තහවුරු කරගත් තොරතුරු වලට අනුව මේ සිද්දියට සම්බන්ධ නව දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන ඇත.
(දිනසේන රතුගමගේ)
COMMENTS