ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ලබාගත් තීන්දුව පදනම් කර ගනිමින් ඇතැම් මාධ්‍ය වල පළ වූ ප්‍රවෘත්ති අසත්‍ය බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව මංගල සමරවීර මහතා පවසයි.
අදාළ සිද්ධිය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විමර්ශනයක් සිදු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් තහවුරු කිරීමකින් තොරව මෙවැනි බරපතළ කරුණු පළ කිරීමට සමාව දිය නොහැකි බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මෙරෙට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
එම පුද්ගලයා 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු බවට සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
COMMENTS