වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවර...
වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා විසඳුම් ලබාදීමට ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා හමුවේ සහතික වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ඊයේ (26) පස්වරුවේ හමු වූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා මේ පිළිබඳ සිය එකඟතාවය පළ කළේය.
ශ‍්‍රී ලංකාවේ ගොවි ජනතාව විසින් වගා කරන ආහාර බෝග, එළවළු, පළතුරු ආදියෙන් 40%ක් පමණ වන සතුන් විසින් නිකරුනේ විනාශ කර දමයි. වාර්ෂිකව නිෂ්පාදනය කෙරෙන ආහාර බෝගවල අස්වැන්න අඩු වීම හේතුවෙන් ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ අවස්ථාව ද මගහැරෙමින් පවතී. සතුන් ද රැක ගනිමින් මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ලබාගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙය රටවල් රැසක් මුහුණදී ඇති ගැටලුවක් වන අතර, එම රටවල මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ලබා දුන් විසඳුම් තුළින් ලත් අත්දැකීම් උපයෝගි කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා සහය ලබාදීමට සූදනම් බවයි.
මන්දපෝෂණය තුරන් කරමින් ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා දීමට ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහය දැක්වීමට සූදානම් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය. ඒ සඳහා ආධාර සැපයීමට ද අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් වූ එකඟතා ගිවිසුමට අදාළ කෙටුම්පත කඩිනමින් සකස් කරන බව ද ප‍්‍රකාශ කළේය.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සියලු ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ තලයකට ගෙනැවිත් මන්ද පෝෂණය තුරන් කිරීම රජයේ අරමුණ බවයි.
අවිධිමත් ආහාර රටාව සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා නොගැනීම මන්දපෝෂණයට හේතුවී තිබෙන ප‍්‍රධාන සාධකයි. එමෙන්ම අවිධිමත් ආහාර රටාවන් හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් 17% ක් දියවැඩියාවෙන් ද, 48%ක් කාන්තා ස්ථූලතාවයෙන් ද, 20%ක් මන්දපෝෂණයෙන් ද පෙළෙන අතර ඔවුන් බෝ නොවන රෝග ව්‍යාප්ත වීමේ අවදානමට ද ලක්ව සිටිති.
ශ‍්‍රී ලංකාවට ජාතික ආහාර ප‍්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට විශේෂඥ සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඒ සඳහා ද සියලු සහයෝගය දක්වන බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික විය.
වොෂින්ටන්හි පිහිටි අන්තර්ජාතික ආහාර ප‍්‍රතිපත්ති ආයතනය නැරඹීමට පැමිණෙන ලෙස ද මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන නොවැම්බර් මාසයේ බැංකොක්හි පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශනයක් සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඇරයුම් කරනු ලැබීය.
COMMENTS