නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල ස...
නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.
නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධාන කර තිබුණි.
සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලු ලෝක නායකයන් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.
නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මඟ සිහිපත් කිරීමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව සඳහන් කළේය.
සාමය පිළිබඳ ගමන් මඟ ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධාන කිරීම පිළිබඳ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය. සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය
නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජන රජයේ ගෞරවණීය ප්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා.
නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකයට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, මානව සමාජයට විශිෂ්ට ගමනක් යාමට අවශ්‍ය මාර්ගය කියාදුන් නායකයෙක් පිළිබඳ අපි අද කතා කරන්නේ එවැනි නායකයන් අද ලෝකය තුළ නැති නිසයි. නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම පිළිබඳ කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළයුතු ද යන්නයි.
අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මගෙහි නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳ ලෝකයට සිහිපත් කිරීමට සිදුව තිබෙන්නේ. අද ජීවත්වන නායකයන් තුළ, ලෝකයට දේශපාලන ගමන් මඟ පෙන්වන බොහෝ නායකයන් තුළ නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා සාමය, සංහිඳියාව, ජාතීන් අතර සමඟිය මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳ ලෝකයට කියාදුන් එවැනි විශිෂ්ට නායකයකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද සිටින ලෝක නායකයන් කියන එකයි මම විශ්වාස කරන්නේ.
ඒ තුළ ගැබ්ව තිබූ මානවවාදී ගැඹුරු බව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, විශේෂයෙන්ම බලය පිළිබඳ තිබූ ආශාවෙන් ඉවත්වීම ලෝකයට මහඟු ආදර්ශයක්. ශ්‍රී ලංකා ජනරජයේත්, ජනතාවගේත් ගෞරවය ප්‍රණාමය නෙල්සන් මැන්ඩෙලා චරිතයට පුදකරනවා වගේම ලෝකයේ සියලු නායකයන්ට මම ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක් ගිය ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියලා.
ජනපති අද එ.ජා. මහ සැසිය අමතයි
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.
'එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමූහික වගකීම' යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73වැනි සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වේ.
එහි ප්‍රධාන සැසිවාරය අද (25) ආරම්භ කෙරෙන අතර එදිනම පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරයි. ජනාධිති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතන සිවුවන අවස්ථාව මෙයයි.
අද (25) දින පෙරවරුවේ එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පවත්වන විශේෂ පිළිගැනීමේ උත්සවයට ජනාධිපතිවරයා සහාභාගීවන අතර අනතුරුව එක්සත් ජාතීන්ගේ 73වැනි මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගීවනු ඇත. අනතුරුව සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පිරිනමන දිවා භෝජන සංග්‍රහයට ද සහභාගීවේ. අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ජනාධිපතිවරයා අමතනු ඇත.
රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙන පළමු දිනයේම එම සමුළුව ජනාධිපතිවරයා ඇමතීම ද විශේෂ කරුණක් වනු ඇත. එහිදී ශ්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ද ජනාධිපතිවරයා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇත.
ජනාධිපතිවරයා මේ යෝජනා ලෝක ප්‍රජාව වෙත සිය දේශනයෙන් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිෂෙල් බාෂලේ මහත්මියට දැනුම් දීමටත්, එම යෝජනා 2019 මාර්තු මාසයේ ජිනීවාහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට නිල වශයෙන් ඉදිරිපත් කිරීමටත් නියමිතය.
COMMENTS