කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයින් හා සැකසුම්කරුවන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහාත්, වඩාත් ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ ආහාර සැකසුම්කර...
කුඩා හා මධ්‍යම පරිමාණ ආහාර නිෂ්පාදකයින් හා සැකසුම්කරුවන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහාත්, වඩාත් ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ ආහාර සැකසුම්කරණය දිරිමත් කිරීම සඳහාත්, ආහාර පර්යේෂණාගාරයක් (Food Laboratory) ආරම්භ කිරීම අපගේ මීළඟ ඉළක්කය වන බවත්, එමගින් රසායනික සංයුතිය හා ක්‍ෂුද්‍රජීවී විද්‍යා ආශ්‍රිතව විශ්ලේෂණ කටයුතු කරමින් උපකාර කිරීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති COMPLAST 2018 COMEXPO ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා අතින් COMPLAST 2018 COMEXPO ප්‍රදර්ශනය විවෘත කෙරුණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ හා ඉන්දියාවේ SMART EXPOS ආයතනයේ සංවිධායකත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි 130 ක් පමණ පැවතුණි. විශේෂයෙන්ම ආහාර සැකසුම් මෙන්ම ඊට අදාල උපකරණ හා ඇසුරුම් මෙම ප්‍රදර්ශනයේදී කැපී පෙනුණි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.
"අප රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවමින් එහි අගය වැඩි කිරීම දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට හේතු වෙනවා. එම නිසාම මෙහි සිටින සියලුම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මගේ අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසයි. අපි හැම විටම ඔබ වෙනුවෙන් සේවය කරන්න බැඳිලා ඉන්නවා.
මෙම ප්‍රදර්ශනය ඉතා හොඳින් සංවිධානය කරලා තියෙනවා. මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ සහයෝගීතාවය තුළින් අපගේ දේශීය කර්මාන්ත ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙන යාමයි. මෙම ප්‍රදර්ශනය තුළ අපේ දේශීය නිෂ්පාදන, අමුද්‍රව්‍ය සපයන්නන්, උපකරණ හා ආම්පන්න සපයන්නන් මෙන්ම නිෂ්පාදකයින් හා බෙදාහරින්නන්ද, ඒ වගේම වෘත්තීය නිපුණත්වයෙන් පිරිපුනත් වෘත්තිකයන්ද සිටිනවා. ඒ වගේම ඉන්දියාව හා චීනයද මේ ප්‍රදර්ශනයට එකතු වෙලා සිටීමෙන් අපගේ තරඟකාරීත්වය ශක්තිමත් වෙනවා.විශේෂයෙන්ම අපගේ ආහාර සැකසුම් අංශය වැඩි දියුණු කිරීම සඳහා කුඩා කර්මාන්ත ක්‍ෂේත්‍රය වැඩි දියුණු කළ යුතු වෙනවා. ඒ සඳහා වන ව්‍යාපෘතියක් අප අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හඳුන්වාදී තියෙනවා. මේ සඳහා අපි රුපියල් මිලියන 07 ක් පමණ වෙන් කරලා තියෙනවා. ඒ වගේම "යහපත් නිෂ්පාදන භාවිතයන්" සහතික කිරීමේ ව්‍යාපාරිකයන්ද අපි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් හඳුන්වාදී තියෙනවා. මේ මගින් කුඩා පරිමාණ කර්මාන්තයන්හි අතර සුරක්ෂිතතාව හා නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සිදු කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරය මගින් ජාත්‍යන්තර ISO ප්‍රමිතීන් වන ISO 9001, ISO 1400 වැනි තත්ත්ව සහතික ලබා දීමට සහාය දක්වනවා.
ඒ වගේම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය නිපුණතා පුහුණුව ලබා දෙනවා. ඒ වගේම වෙළෙඳපොළ පහසුකම් ද ලබා දෙනවා. ඒ වගේම අලෙවිකරණය, කළමනාකරණයට අවශ්‍ය සහාය නිරතුරුවම ලබා දෙනවා. මේ මගින් අප අපේක්ෂා කරන්නේ අපගේ ව්‍යවසායකයින්ව ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම සඳහා සුදානම් කිරීමයි. එය අප අනාගත ආර්ථික සංවර්ධනය සඳහා කළ යුතු වෙනවා. " යැයි පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් තරංජිත් සිං සිදු, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති මහින්ද ජිනසේන, ශ්‍රී ලංකා රබර් හා ප්ලාස්ටික් ආයතනයේ උප සභාපති එන්.රාජපක්ෂ, ඉන්දියාවේ SMART EXPOS සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී බී.ස්වාමිනාදන් මහත්ත මහත්මීන්ද සහභාගී විය.
COMMENTS