මැති ඇමතිවරුන්, මාධ්‍යවේදීන්, පොලිසියේ ඉහළ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන සහ දුරකථන දත්ත විශ්‍ල...
මැති ඇමතිවරුන්, මාධ්‍යවේදීන්, පොලිසියේ ඉහළ නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ දුරකථන සංවාදවලට හොර රහසේ සවන් දෙන සහ දුරකථන දත්ත විශ්‍ලේෂණය කරන රහස් ඒකකයක් නුගේගොඩ එපිටමුල්ල පාරේ සුවිසල් නිවසක ක්‍රියාත්මකව ඇතැයි රිවිර ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබේ.
එම ඒකකය ක්‍රියාත්මක වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ඝෘජු අධීක්ෂණය යටතේ බවද එහි දැක්වේ.
එම නියෝජ්‍ය පොලිස්පතිවරයාට හිතවත්ම නිලධාරීන් හය දෙනෙක් එම නිවසේ සේවයට යොදවා ඇති බවද පැවසේ.
එම නිවස එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ සමීපතමයෙක් වූ දැනට ඩුබායිහි සිටින එමිල් කාන්තන්ට අයත්ව තිබූවක් බවත්, මේ වන විට එම නිවස රජයට පවරාගෙන පොලිසියේ පරිහරණයට නිදහස් කර ඇති බවද පැවසේ.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට යුරෝපීය රටකින් සහ ජපානයෙන් ලද නවීනතම තාක්ෂණික උපකරණ සහ මෘදුකාංග යොදා ගනිමින් එම ඒකකයෙන් වැඩි හරියක්ම කෙරෙන්නේ පුද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් මැති ඇමැතිවරුන්ගේත් මාධ්‍යවේදීන්ගේත් පොලිසියේම ඉහළ නිලධාරීන්ගේත් සෙසු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේත් දුරකථන සංවාදවලට රහසිගතව සවන්දීම බව උසස් පොලිස් නිලධාරීන් රැසක්ම හෙළිකර ඇති බවද වාර්තා වේ.
මෙම ඒකකයට යුරෝපීය රටකින් ලැබි ඇති නවීන තාක්ෂණික මෘදුකාංග මගින්ව ට්ස් ඇප් හැරුණුකොට, වයිබර්, ඉමෝ, ෆේස් බුක් වැනි සමාජ ජාල ඇප්ස් හැක් කිරීමේ හැකියාවක් ඇති බවද පැවසේ.
එම පුවත්පතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
ඊට අමතරව ඊමේල් පවා හැක් කරන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ හැක් කරන පුද්ගලයාට ඇති ඊමේල් ගිණුම හෝ සමාජ ජාල ඇප්ස් ලිපිනයට සමාන ව්‍යාජ ගිණුම් සකස් කරලයි. එම ව්‍යාජ ගිණුම් සකස් කරන්නේ යුරෝපීය රටින් ලද මෘදුකාංගයෙන්. එතකොට සැබෑ ඊමේල් හෝ සමාජජාල ඇප්ස් ගිණුම්වලට එන සෑම තොරතුරක්ම ව්‍යාජ ගිණුමටත් එනව. ජාතික ආරක්ෂාවට ක්‍රියාත්මක වීමට ලබාදී තිබෙන එම මෘදුකාංගය යොදාගෙන දැන් සිද්ධවෙන්නේ වෙන වෙන දේවල්. යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රිවිරට අනාවරණය කළේය.
දුරකථනවලට රහසින් සවන්දීමේ එක් නවීන තාක්ෂණික උපකරණයක් මෙරටට ලැබි ඇත්තේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපෘතිය යටතේය. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහි මෙහෙයුම්වල සහයක් ලෙස එම උපකරණ ලබාදී තිබේ. ඊට අමතරව කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වෙනුවෙන් දියරමය පුපුරන ද්‍රව්‍ය සොයා ගන්නා උපකරණ ඇතුළු නවීන තාක්ෂණික උපකරණ ගොන්නක්ම ප්‍රදානයක් ලෙස ජපානයෙන් මෙරටට ලැබි ඇත.
මතෛක් කාලයක් දුරකථනවලට රහසිගතව සවන්දීමේ බලය සහ තාක්ෂණික උපකරණ සතුව තිබුණේ මෙරට ප්‍රධාන බුද්ධි අංශය වන රාජ්‍ය බුද්ධි සේවය යටතේ පමණි. එම ඒකකය ක්‍රියාත්මක වන්නේ සේනා විධායක වන රාජ්‍ය නායකයා යටතේය.
එහෙත් නව ඒකකය මගින් සිදුවන්නේ ජාතික ආරක්ෂාවට මුවා වෙමින් පුද්ගලික වුවමනාවන් සහ පළිගැනීම් වෙනුවෙන් තාක්ෂණය අනිසි ලෙස යොදා ගැනීම බව උසස් පොලිස් නිලධාරීන් රැසක්ම රිවිර ඉරිදා සංග්‍රහයට සඳහන් කළහ.
අධිකරණ නියෝගයකින් තොරව දුරකථන සමාගම්වලින් එම ඒකකයට දුරකථන වාර්තා දත්තයන් ලබා ගැනීමට බලයට ලැබි තිබේ.
මේව ආණ්ඩුවේ බලධාරීන් දන්නේ නැහැ. අපේ පොලිසියේ ලොකු මහත්තයකුට අනාගතයේ දවසක දේශපාලනයට එන්න වුවමනාවක් තියෙනවා. ඒ නිසා ඔහු තමන්ට හිතවත් මැති ඇමැතිවරු කවුරුද කියල දැනගන්නත් එයාව විවේචනය කරන ඇමැතිවරුන් කවුරුන්ද කියල දැන ගන්නත් එයාට විරුද්ධව ඉන්න පොලිස් නිලධාරීන් හඳුනා ගන්නත් මේ ඒකකයේ තාක්ෂණය යොදා ගනිමින් එම මැති ඇමැතිවරුන්ගේ දුරකථන ටැප් කරනවා. දුරකථන දත්තයන් විශ්‍ලේෂණය කරනවා. මෙවැනි දේවල් නොවිය යුතුයි. ජාතික ආරක්ෂාව ඉදිරියට දාලයි මේ වැඩ කරන්නේ. තනිකරම මේව නීති විරෝධි වැඩ.යැයි තොරතුරු හෙළිකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ අංශය ගැන තමා දැනුවත් නැති බවත් යමක් පැවසිය හැක්කේ එම අංශයෙන් කරුණු විමසා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා රිවිර ඉරිදා සංග්‍රහය ඒ ගැන කළ විමසුමකදී සඳහන් කළේය. අදාළ අංශයෙන් තමන්ට ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් පත්‍රය මුද්‍රණයට යන්නට පෙර පොලිසිය පාර්ශ්වයෙන් කරුණු දැක්වීමක් කරන බව ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS