ශ්‍රී ලංකාව උපක්‍රමශීලීව චීනයේ ග්‍රහණයට ගැනීමට එරෙහිව නව ආකාරයක පරිශ්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රාසන්න ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ...
ශ්‍රී ලංකාව උපක්‍රමශීලීව චීනයේ ග්‍රහණයට ගැනීමට එරෙහිව නව ආකාරයක පරිශ්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රාසන්න ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ජපානය ප්‍රතිඥා දුන් බවට ජපාන බලධාරීන් විසින් නිකුත් කරන ලද නිවේදනයක් උපුටා දක්වමින් "ද ජැපෑන් ටයිම්ස්" (The Japan Times ) පුවත්පත වාර්තා කර තිබේ.
ජපාන නිලධාරීන් 19 දෙනෙකු සමඟ එරට ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරාගේ දෙදින ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව නිකුත් කරන ලද එම නිවේදනය මඟින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රාසන්න ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව එහි දැක්වේ.
ජපාන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ ඇමරිකාව විසින් සමුද්‍රාසන්න ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 39ක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව බවද එම පුවත්පතේ සඳහන් කොට තිබේ.
මේ අතර දකුණු ආසියාව තුළ චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් අමඟ ද්විපාර්ශවික ගිවිසුමකටද අගෝස්තු 20 වැනි දින අත්සන්කර තිබෙන බවත්, ඉදිරියේදී දකුණු මුහුදේ සහ ඉන්දියානු සාගර කලාපය තුළ නාවුක අභ්‍යාසයක් සිදුකිරීම සඳහා යුද නැව් තුනක් එවීමටත්, ඒවා ඉන්දියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යනාදී රටවල වරායන්වලට පැමිණෙන බවත් එම පුවත්පත සඳහන් කර තිබේ.
එමෙන්ම හම්බන්තොට වරාය මිලිටරි ක්‍රියාකාරකම් වලින් තොරව පැවතිය යුතු බවද ඔනොඩෙරා මහතා ජපාන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක වියදම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 700කට අධික මුදලක් වෙන්කර ඇති බවත් , එම මුදලින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප ආරක්ෂක සම්බන්ධතා ගොඩනැංවීමටද ඇමරිකාව උත්සාහ කරන බව චයිනා ග්ලෝබල් ටෙලිවිෂන් නෙට්වර්ක් (china global television network ) වෙබ් අඩවිය අනාවරණය කරයි.
තවද චීනය විසින් ණය ආධාර ලබාගන්නා ලෙසට ශ්‍රී ලංකාවට බලපෑම් කර නොමැති බව, ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන ව්‍යාපෘති ගනුදෙනු සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් විවේචනය කිරීම අළලා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු අගෝස්තු 23 වැනි දින පැවසූ බව ග්ලෝබල් ටයිම්ස් (global times ) නැමති චීනයේ පළවන පුවත්පත සඳහන්කොට තිබේ.
(රාවය)
COMMENTS