දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවර...
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් ඊයේ (31) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර මත ගැටුමක් ඇතිවී තිබේ.
මෙම උණුසුම් මත ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතරය.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සරත් අමුණුගම මහතා විසින් මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළකිරීම හේතුවෙන් මෙම උණුසුම් මත ගැටුම ඇතිවූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාද අමුණුගම ඇමැතිවරයාගේ අදහස් අනුමත කරමින් කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් අදහස් දක්වා ඇතැයි වාර්තා වේ.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය මීට පෙර සරත් අමුණුගම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබූ අතර එම කමිටුවේ නිර්දේශ මත මෙම විශේෂ කැබිවට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත් එහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම යැයි කියමින් මෙවැනි විශේෂ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම හේතුවෙන් අනෙකුත් විකුණුම් වලද ප්‍රශ්න මතු විය හැකි බවයි.
වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර තිබේ.
එබැවින් මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව මංගල සමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දී ඇති ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා මෙම සාකච්ඡාවලට මුදල් අමාත්‍යාංයේ හා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ද සහභාගි වූ බවත් එම කමිටුවලද එකඟ වී දැන් විරුද්ධ විය නොහැකි බවත් ප්‍රකාශ කර ඇත.
මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයාද එම කතාබහට එක්වෙමින් දුම්රිය වෘත්තීය සමිතවලට දැන් පොරොන්දුව කඩ කළ නොහැකි බව පවසා තිබේ.
දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවට සහය පළකරමින් අමුණුගම සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් දෙදෙනා දිගින් දිගටම අදහස් දක්වා ඇති අතර තමා ඊට කිසිසේත් එකඟ නොවන බවට මංගල සමරවීර ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත.
මුදල් අමාත්‍යවරයාගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මංගල සමරවීර ඇමැතිවරයා විරෝධය පළ කළද අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් රැසවීමේදී අනුමත වී ඇතැයිද එම ආරංචි මාර්ග පැවසී ය.
මේ අතර පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද උතුරේ නිවාස ව්‍යාපෘතියක් පිලිබඳ මනෝ ගනේෂන් ඇමැතිවරයා සහ ස්වාමිනාදන් ඇමැතිවරයා අතරද මත ගැටුමක් ඇතිව තිබිණි.
“ඔව් ඉතිං මේ වැඩපිළිවෙළ දවසින් දවස පහුවෙනවා. අපි කතා කර කර ඉන්නවා” ස්වාමිනාදන් ඇමැතිවරයා දැඩි කළකිරීමකින් එහිදී ප්‍රකාශ කර තිබේ.
ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වීම නිසා යළිත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.
ජනාධිපතිවරයා එම මත ගැටුමට මැදිහත්වෙමින් අර්ජුන ඇමැතිවරයාට තදින් ප්‍රකාශ කර තිබුණේ “ඇමැතිතුමාට මම අමාත්‍යාංශයක් දීලා තියෙනවානේ. ඒ අමාත්‍යාංශයේ වැඩ හරියට වෙනවාද කියලා ඔබතුමා බලන්න. ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට ඇඟිලි ගහන්න එන්න එපා.” කියාය.
මේ හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ගැටුම් එන්න එන්නම උග්‍රවනු දැකිය හැකිය. බොහෝ ඇමැතිවරුන් මේ වන විට සිටින්නේ යහපාලන ආණ්ඩුව ගැන කළකිරීමකිනි.
එහෙත් ආණ්ඩුවේ නායකයින් දෙපල තම පක්ෂවලත් ආණ්ඩුවේත් බලය රැකගැනීමට කටයුතු කරනු විනා රට ගැන සිතා වැඩ කරන බවක් පෙනෙන්නට නැතැයි ආණ්ඩුවේ ප්‍රබලයෙකු කියා සිටියේය.
COMMENTS