වැඩ වර්ජන කිරීමෙන් ආණ්ඩුවට නොරිදෙන බවත් රිදෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹ...
වැඩ වර්ජන කිරීමෙන් ආණ්ඩුවට නොරිදෙන බවත් රිදෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.
“ඊයේ දුම්රිය වැඩවර්ජනයක්. විභාගය අවසන්වී ගෙදර යන දරුවෝ ගැන හදවත උණුවෙන්නේ නැද්ද? මනුෂ්‍යයත්වයේ සැබෑ යථාර්ථය විවෘත වන්නේ නැද්ද? නිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ.
මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි. කරුණාකරලා වෛද්‍යවරු වැඩවර්ජනය කරන්න රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. රෝගීන්ට අවශ්‍ය අඩුපාඩුකම් වෙනුවෙන් සටන් කරන්න. බෙහෙත් නැත්නම් බෙහෙත් නැහැ කියා වර්ජනය කරන්න. උපකරණ නැත්නම් උපකරණ නැහැ කියා වර්ජනය කරන්න. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න ආණ්ඩුවේ අඩුපාඩුකම් තිබෙනවානම් ඒවා පෙන්වා ඒ සඳහා වර්ජනය කරන්න.
ආණ්ඩුවේ රෝහල්වලට පෝසත් අය එන්නේ නැහැ. දුම්රියේ පෝසත් අය යන්නේ නැහැ. දුම්රියේ යන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. දුප්පත් ජනතාව. මමත් එක දිගට අවුරුදු ගණනාවක් කොළඹ - ගම්පහ දුම්රියේ ගිය කෙනෙක් විදියට, දුම්රියේ එන මගීන් අතරේ පාසල් දරුවන් අතරේ සමහර අයගේ සාක්කුවේ තිබෙන්නේ දුම්රියේ එන සීසන් එක විතරයි. ශත පහක් නැහැ.
වතුර පිපාසයක් ආවත් වතුර බොන්නේ පාරේ තිබෙන හෝ කෝච්චියේ තිබෙන ටැප් එකකට කට තියලා. ඒ අහිංසක මිනිසුන්ට වතුර එකක් ගන්නත් සල්ලි නැහැ. නමුත් මේවා තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු දේවල්. මේ වැඩවර්ජනය කරන සහෝදරයන්ගෙන් මම අහනවා ජාතියේ පුනරුදය ඇතිකරන්න මේ දේවල් කළාම පුළුවන්ද කියලා. ප‍්‍රශ්න විසදගන්න පුළුවන් ආණ්ඩුවක් තිබෙන්නේ.
මම සතුටු වෙනවා 2015 සිට අපේ ආණ්ඩුව විදියට අපි කිසිම තැනක ගිනි අවියක් භාවිතා කරලා නැහැ. ගොඩක් අය බලන් සිටියා සයිටම් ගැටලුවත් සමග අපේ අතින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තුවක්කු පත්තු කරන්න. සයිටම් එකට විරුද්ධව විශ්වවිද්‍යාල දරුවෝ කොළඹ පාරවල් වටලන්න එනවා කියලා මට ආරංචි වුණ හැම දවසේම මම උදේ පාන්දරම පොලිස්පතිට කතාකරලා උපදෙස් දුන්නේ ගිනි අවි කිසිවක් භාවිතා කරන්න එපා, කිසිම ආයුධයක් භාවිතා කරන්න එපා කියලා.
ඒ දරුවන්ව මෙහෙයවන්නේ වෙනම කට්ටියක්, ඒ නිසා එයාලා එහෙම කෑගහලා ගියපුදෙන් කියලා මම කිව්වා. ඒක දරුවන්ගේ සටනක් නෙමේ, ඒ පිටුපස ඉන්නේ දේශපාලන හස්තයන් කියලා මම කිව්වා. නමුත් ඒ කිසිම කෙනෙක්ට ශාරීරික වධහිංසා දෙන්න එපා කියලා මම කිව්වා. අපි අවුරුදු 03 ක් ඒ උද්ඝෝෂණවලට මුහුණ දුන්නා. කොළඹ ජනතාව, රියදුරන් අපට අසැබි වචන වලින් බැන්නා, අපි ඒ ගැටලුව විසඳගත්තා. වෘත්තීය අයිතිවාසිකම් තිබෙනවා. අපි ඒවා සාකච්ඡා කරනවා ආණ්ඩුවක් විදියට. ඒවාට කන් දෙනවා. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා තිබෙනවා. මේ නිදහස පිළිබඳ සමහර අය නොදන්නා බවක් පෙන්වනවා.
මාධ්‍ය නිදහස, කතාකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, ජනාධිපතිටත් අසැබි වචනයෙන් බැනලා රූපය විකෘති කරන අයටත් ඒ නිදහස සහතික කරලා තිබෙනවා. මට දැන් අද සමාජ වෙබ් අඩවි වලින් කරන දේවල් එදා කළා නම් ඒ මිනිස්සු හොයාගන්නත් නැහැ, ඉන්න තැන් හොයාගන්නත් නැහැ. ඒවා හදන අය ඒක තේරුම්ගන්න ඕන. දේශපාලනඥයන්ගේ සමහර අයගේ අවංක කම පිළිබඳ ගැටලු තිබෙනවා. හැම කෙනෙක්ම එහෙම නැහැ. හැම රාජ්‍ය සේවකයෙක්ම නරක නැහැ. බහුතරයක් හොඳයි. යම් ප‍්‍රමාණයක් ඉන්නවා සියලු දෙනාගේම නම කැතකරන."
වෘත්තීය සමිති ත්‍රස්ථවාදය පරාජය කරන්න කාලය එළඹිලා
රටක් වශයෙන් එකතු වී 30 වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්ථවාදය මතවාදීමය වශයෙන් හා ප්‍රායෝගිකව පරාජය කිරීමට කාලය එළැඹ ඇති බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ සඳහන් කරන අමාත්‍යවරයා වෘත්තීය සමිති සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට උපරිමයෙන් ගරු කළද වෘත්තීය සමිතිවල වගකීම වන්නේ සදාචාරමය සහ ආචාරධර්මික රාමුවක් තුළ සිය කටයුතු සිදු කිරීම බවද පැවසීය.
වැඩවර්ජනයක් දියත් කිරීම වෘත්තීය සමිතියක අවසන් උපාය මාර්ගය විය යුතු අතර, එය කිසි ලෙසකින්වත් තමන් සතු පළමු ආයුධය ලෙස භාවිත නොකළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි?
පවතින වැඩවර්ජනය හමුවේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සම්බන්යධයෙන් ගැසට් නිවේදනය සකස් කිරීමට අමාත්‍ය ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවත්, ජනාධිපතිවරයාට එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවත්ය.
නව දුම්රිය රියදුරන් පුහුණු කිරීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරි මාස පහක කාලය තුළදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
''අසාධාරණ වැඩවර්ජන වළක්වන්න මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුයි. දුම්රිය රියදුරෙකුට මසකට අතිකාල පැය 600කට වැඩියි. පාරිතෝෂික ලෙස දිනකට රුපියල් 500යි. සමස්තයක් ලෙස අවම ලක්ෂ 02ක් හෝ 02½ක් ඔවුන්ට මසකට හිමි වෙනවා. වර්ජනය නතර කර සාකච්ඡාවලට එන්න කිවුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා'' යැයි පැවසීය.
COMMENTS