මෙරට රාජ්‍ය සේවකයන් ලෙස සේවය කරන ලක්ෂයකට උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියාව සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා එ...
මෙරට රාජ්‍ය සේවකයන් ලෙස සේවය කරන ලක්ෂයකට උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ රැකියාව සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා එම සේවක සේවිකාවන් දැඩි අපහසුතාවයන් වලට පත්ව ඇතැයි සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර සිටිති.
දඹුල්ල ප්‍රරදේශයේදී 17 දින පෙරවරුවේ මෙම මාධ්‍ය හමුව පවත්වන්නට යෙදිණි. එහිදී සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ සංවර්ධන නිලධාරීන් ලෙස ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට සේවයේ යෙදී සිටින බවය. කාලයක සිට මෙම සේවාව ආරම්භ කර තිබුනද 2012 වසරේ 50000 ක අධික පිරිසක් බඳවා ගැනීමත් සමඟ ආරම්භයක් වූ බවය.
මෙම නිලධාරීන්ට පවතින ගැටලු ප්‍රශ්න පිළිබඳව වසර ගණනාවක් තිස්සේ බලධාරීන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුම් නොමැති බව ද හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම සංගමයේ භාණ්ඩාගාරික බි .ඒ .පි . බස්නායක මහතා කියාසිටියේ සංවර්ධන නිලධාරීන්ගේ සේවාවට කණකොකා හඬ ඇති බවය. ඔහු වැඩිදුරටත් හෙළිදරව් කරමින් කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහනගර සභා මන්ත්‍රීවරුන්ගෙන් දැඩි පීඩනයක් ආර්ථික සංවර්ධන නිලධාරීන්ට එල්ල වී තිබෙන බවය. මෙම පීඩනය පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයා ගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන ලෙස හෙතෙම ඉල්ලීමක් කළේය. එසේ නොවන්නේ නම් ඉදිරියේදී පළාත් පාලන ආයතන වල මන්ත්‍රී වරුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සිද්ධ වෙන බව ද හෙතෙම සඳහන් කෙළේය.
එහි ජාතික සංවිධායක ආනන්ද සෝමසිරි මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ දැනට තම සහෝදර සහෝදරියන්ගේ සේවාවට එක් වී වසර හයක් ගත වී ඇතත් මෙතෙක් රාජකාරී ලැයිස්තුව ලබා නොදී තිබීම පිළිබඳව නිසි බල ගැන්වීමක් සිදු කර නැති බව ද සඳහන් කළේය. වසර එකහමාරකට ඉහතදී මෙම සේවකයන් හට රාජකාරි ලැයිස්තුවක් සූදානම් කළ ද ඒවා ද මෙතෙක් ක්‍රියාත්මක නොවන බව සඳහන් කළේය.
දිවයින පුරා විසිරී සිටින සංවර්ධන නිලධාරීන්ට කුඩම්මගෙ සැලකිලි දක්වන බවද ජාතික සංවිධායක වරයා අවධාරණය කළේය.
එම සංගමයේ හිටපු ජාතික සංවිධායක දුමිදු ප්‍රසන්න මහතා කියා සිටියේ මෙරට ග්‍රාම සේවා වසම් දාහතර දහසක සේවය කරන උපාධිධාරී තරුණ තරුණියන්ගෙන් නිශ්චිත සේවාවක් රජය නොගන්නේ මන්දැයි තමන් ප්‍රශ්න කරන බව ය. තම සංගමය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ එකක් නොවන බවත් රටේ සංවර්ධනය සඳහා වූ සේවය කරන අය වෙනුවෙන් මෙම වෘත්තිය සමිතිය ආරම්භ කොට ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS