අඟුණුකොළපැලැස්ස ඉදිකර තිබෙන නව බන්ධනාගාරය වෙත වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් නියම වී සිටි කාන්තා රැදවියන් 121 දෙනෙකු පසුගිය දින කීපය තුළ රැගෙන...
අඟුණුකොළපැලැස්ස ඉදිකර තිබෙන නව බන්ධනාගාරය වෙත වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් නියම වී සිටි කාන්තා රැදවියන් 121 දෙනෙකු පසුගිය දින කීපය තුළ රැගෙන විත් ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඉදිරිදින කීපය තුළදී වැලිකඩ බන්ධනාගාරයේ සිටින තවත් රැදවියන් 400ක් පමණ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේය.
මේ වන විට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රැදවියන් 700 ක් පමණ සිටින අතර රැදවියන් 1500 කට පමණ එහි පහසුකම් තිබෙන බව එම ඔහු සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්සේ ඉදි කෙරුණු නව බන්ධනාගාරය 2017 ඔක්තෝම්බර් 16 දින බන්ධනාගාරය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩි.එම්. ස්වමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
රුපියල් මිලියන 4996ක් වියදම් කර ඉදිකර තිබෙන අඟුණුකොළපැලැස්සේ මෙම බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත එකක් වේ.
අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ 1,500ක් වූ රැඳවියන් පිරිසකට සෑහෙන ඉඩකඩ ඇති අතර එහි බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක්ද මීට අයත් අංග අතර වේ.
එමෙන්ම අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශනා ශාලාද මෙහි පහසුකම් අතරට අයත් වේ.
කෙසේ නමුත් පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකිරීම් ඇරඹුණු මෙම බන්ධනාගාරය විවෘත කිරීමට මත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා දැඩි විරෝධය පෑ අතර එයට ප්‍රධානතම හේතුව වුයේ වැලිකඩ සිටින විවිධ අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් මේ තුළට දැමීම තුළින් ප්‍රදේශය තුළ එම ජාවාරම්ද ක්‍රියාත්මක වීමේ අවධානමක් ඇති බව පවසමිනි.
COMMENTS