මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් ම...
මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව යුද්ධයෙන් පීඩාවට පත් සෙසු පිරිස් වෙත වන්දි ලබාදීමට රජය කටයුතු කරන බව ද ඊයේ (20) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.
‘‘එතුමාට දී තිබෙන්නේ උතුරු පළාත් ගැන කටයුතු කිරීමේ ඇමති ධූරයක්. එතුමා ඉදිරිපත් කළත් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කළා. තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලයයි. එහි වන්දි ලබාදිය යුතු කොටස් 10ක් පමණ සඳහන් කර තිබෙනවා. එයින් මිය ගිය ත‍්‍රස්තවාදී සාමාජිකයන්ට යන කොටස ඉවත් කර ඉතිරි ඒවා ක‍්‍රියාත්මක කළ හැකියි. සමහරු මේ දේ විකෘති කර වෙබ් අඩවි ආදියේ පළ කර තිබෙනවා. ජාතිවාදය, ආණ්ඩු විරෝධය වැපිරවීම සඳහා යොදවා තිබෙන පිරිස් විසින් මේ දේවල් කරනවා.‘‘
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් පෙරේදා (19) අත්හිටවනු ලැබීය.
මෙම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබු නමුත් ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට ස්වාමිනාදන් ඇමැතිවරයාට සිදුවිය.
යුද්ධයෙන් පීඩාවට පත් වුවන්ට වන්දි ගෙවීම යටතේ ඉදිරිපත් කර තිබු මෙම කැබිනට් පත්‍රිකාව මගින් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට, හානි වු ආගමික ස්ථානවලට සහ යුද්ධයේ දී මියගිය කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනා කර තිබු බව වාර්තා වේ.
එහෙත් යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි ගෙවීම ගැටලුවක් නොවන නමුත් මියගිය කොටි සාමාජිකයින්ට වන්දි ගෙවිය නොහැකි බව ඇමැතිවරුන් ගණනාවක් එහිදී ප්‍රකාශ කර තිබේ.
ඇමැතිවරුන්ගේ විරෝධය සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම කැබිනට් පත්‍රිකාව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
COMMENTS