ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වී වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධ...
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වී වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය.
හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වන දා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගත් බවයි.
ඉන් අනතුරුව මේ දක්වා තම සැමියා කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරන පෙත්සම්කාරිය සිය සැමියා අත්අඩංගුවට පත්ව මේ වනවිට වසර 29 කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව පවා රජය විසින් තමාට නිත්‍යානුකූලව දැනුම් දී නොමැති බව කියා සිටියේය.
මේ හේතුවෙන් තම සැමියාට සිදුවූ දේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවද පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.
අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කාරිය තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව මෙම පෙත්සම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යොමු කර තම සැමියාගේ අතුරුදන්වීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
COMMENTS