ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසා කටයුතු කරන අමාත්‍ය දුමින්ද දිසානායක සහ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙසා කටයුතු කරන අමාත්‍ය දුමින්ද දිසානායක සහ පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවීර යන අය එම ධූර වලින් ඉවත් කිරීමට යෝජනා කිරීමේ සැළැස්මක් දියත්ව තිබෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ශ්‍රීලනිප 16 කණ්ඩායම විසින් මෙම යෝජනාව අද (09) පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එසේම ඔවුන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩු වන එම තනතුරු සඳහා ශ්‍රීලනිප ජේෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙකු පත්කළ යුතු බවටද අදාළ යෝජනාවේ සඳහන්ව ඇති බවත් ඒ සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරකසභාවේ අවසර නොලැබුණහොත් 16 කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
SLFP තීරණය අද
මේ අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් නොමැතිව පසුගිය දෙසැම්බර් 31 වැනිදා සිට පවත්වාගෙන එන යහපාලන ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වනවාද යන්න අද (09දා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තිරණය කිරීමට නියමිතය.
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සඳහා පක්ෂයේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර, මධ්‍යම කාරක සභාව අවසර ලබාදුනහොත් ඒ වෙනුවෙන් පත් කරන පිරිස් පිළිබඳ අද තීරණයක් ගැනීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා දක්වා පක්ෂ දෙකේ එකඟතාවෙන් අත්සන් කළ ගිවිසුමක් මගින් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන ආ අතර, පැවැති මැතිවරණය හා වෙනත් කරුණු නිසා අදාළ ගිවිසුම අවසන් වුවද ආණ්ඩුව ඉදිරියටම පවත්වාගෙන යෑමට පක්ෂ දෙකේම පිරිස් කටයුතු කළහ.
එහෙත් මේ වනවිට පක්ෂ දෙක අතර පවතින අර්බුදය නිසා යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද, නැද්ද යන්නද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.
COMMENTS