ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩනැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත්, තමන් ඉදිරියේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩනැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත්, තමන් ඉදිරියේදීත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් පවත්වා ගෙන යන 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවියේ විශේෂ වාර්තාවක එබව සඳහන් වේ.
පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේබව අවධාරණය කල බව පවසන එම වෙබ් අඩවිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
''තමන් ගන්නා ලද දේශපාලන ක්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, තවදුරටත් තමන් ශ්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද අවධාරණය කර තිබේ.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.
කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.''
'හතර මායිමේ වද්දගන්න එපා' - මහින්දට බලපෑම්
දේශපාලන ආරංචිමාර්ග පවසන පරිදි මහින්ද රාජපක්ෂ මහතා එවැනි ප්‍රකාශයක් කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ බලපෑම් හමුවේය.
ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයට එක්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එක්වූවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එහි ආසන සංවිධායකයන් ලෙස පත්කර නොගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට දැඩි බලපෑම් එල්ලවී ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
16 කණ්ඩායමේ තීරණය
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම විරුද්ධ පක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසම අසුන් ගැනීමේ තීරණයේ වෙනසක් නොමැති බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි.
තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන පියවර පිළිබදව 'හිරු' ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.
COMMENTS