අගමැතිවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කළ විට ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වී සිටින ජනාධිපතිවරයාගේ ධ...
අගමැතිවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කළ විට ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත්වී සිටින ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි නොවන බව ජනාධිපති නීතිඥයකු වන තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා අවධාරණය කරයි.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් පවතින ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයද විසුරුවා හැරෙන බවත් එයින් ජනාධිපති ධුරයට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48.1 වගන්තියේ පැහැදිලිව සඳහන් වන බවත් ෆයිසර් මුස්තාෆා මහතා පැවසී ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ධුරයන්හි වගකීම කථානායකවරයාට පැවැරෙන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා කර ඇති ප්‍රකාශය ව්‍යවස්ථාව හා රටේ නීතිය සම්බන්ධයෙන් ඔහු තුළ පවතින නොදැනුවත්කම බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ෆයිසර් මුස්තාෆා මහතා මේ බව සඳහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් විශ්වාසය දිනාගත හැකි අයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති ධුරය සඳහා ඉල්ලුම් කළ හැකි බව ෆයිසර් මුස්තාෆා මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව වජිර අබේවර්ධන මහතා කියන පරිදි මේ මගින් ජනාධිපති ධුරය අහෝසි වන වගගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන් නොවන බව තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව මුස්තාෆා මහතා වැඩිදුරටත් පැවැසී ය.
රනිල් පැරදුණොත් මෛත්‍රීත් ගෙදර
කෙසේ වෙතත් පෙරේදා(28) සිරිකොත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විපක්ෂය ජයග්‍රහණය කළහොත් ජනාධිපතිගේ හා අගමැතිගේ කාර්යයන් වැඩබැලීමට කථානායකවරයාට සිදුවන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අග්‍රාමාත්‍යවරයෙකුට පමණක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි අතර එය මුළු ආණ්ඩුවටම ඉදිරිපත් කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා 19 ව්‍යවස්ථා සංශෝධනයට අනූව ජනාධිපතිවරයා දැරිය යුතු අමාත්‍යාංශය ලෙස ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය වන බවත් 2020 වන තෙක් එම අමාත්‍යාංශ ජනාධිපතිවරයා සතු වන බවත් කියා සිටියේය.
කෙසේ නමුත් 19 ව්‍යවස්ථා සංශෝධනයට අනූව ආණ්ඩුව විශ්වාසභංගය පරාජය වුවහොත් ඉන් පසු පෙර පැවැති ආකාරයට ජනාධිපතිවරයාට සිය විධායක බලතල භාවිත කළ නොහැකි අතර කථානායකවරයාට අග්‍ර විනිශ්චයකාරවරයාගේ මතය විමසා තාවකාලීකව ජනාධිපති තනතුරේ වැඩබැලීමට සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එනම් පැරණි ව්‍යවස්ථාවට අනූව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුවත් යම් අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය අහෝසි වී ගිය ද ජනාධිපතිවරයාට සිය විධායක බලතල භාවිත කරමින් ජනාධිපති ලෙස ක්‍රියාකිරීමේ හැකියාව පැවැතුණි. නමුත් 19 වන සංශෝධනයෙන් පසු එම විධායක බලතල අහෝසි වී ඇත.
මේ නිසා රජය යනු අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පමණක් නොව ජනාධිපතිවරයත් අයත්වන නිසා මෙවැනි ප්‍රශ්නාකාරි තත්ත්වයක් ඇති වුවහොත් ව්‍යවස්ථාවේ 37 (2) වගන්තියට අනූව කථානායකවරයාට මෙලෙස අග්‍රවිනිශ්චයකාරවරයාගෙන් මතය අනූව කථානායකවරයාට තාවකාලීකව ජනාධිපතිවරයාගේ බලතල කාර්ය සහ කාර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක් මතුවන වන බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ අනූව 37 (3) වගන්තිය අනූව කථානායකවරයාට ජනාධිපති ධූරයේ සහ කථානායක ධූරය යන දෙකෙහිම කටයුතු කිරීමට සිදු වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මේ නිසා 19 වන සංශෝධනය පරිස්සමින් කියවා බලා සියලු දෙනා හැසිරිය යුතු බවත් ජනාධිපතිවරයා සතු විධායක බලතල සිරිකොත පක්ෂ කාර්යාලයේදීම ඉවත් කළ බවත් ඔහු වැඩිදුරටත් ඔහු පැවැසීය.
රනිල්ව රකින්න මෛත්‍රීගෙන් පොරොන්දුවක්
මේ අතර ඊයේ (29) රාත්‍රීයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිළ නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පැය 4 කට අධික කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව, නිමව ඇත්තේ රාත්‍රී 11.30 ට පමණ පසුව බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවි ඇති බවයි.
2020 වන තුරු ආණ්ඩුව ගැටලුවකින් තොරව කරගෙන යෑමට ද නායකයන් දෙදෙනා එහිදී එකඟ වී තිබේ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පැය 48කට පෙර රැස්වීමට ශ්‍රීලනිපය තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 02වනදා ජනාධිපති නිල නිවසේදී ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට නියමිතය. එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැති බවයි.
එහි ඇති කරුණු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති නිසා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS