වැරදි පුද්ගලයන් විසින් අපිව පාලනය කිරීමටත් දේශපාලනය තුල සිටිය යුතු වැදගත් උගතුන් ඉන් බැහැරව නිශ්ශබ්දව සිටීම නිසා ලාංකීය සමාජය දරුණු ඛේදවාච...
වැරදි පුද්ගලයන් විසින් අපිව පාලනය කිරීමටත් දේශපාලනය තුල සිටිය යුතු වැදගත් උගතුන් ඉන් බැහැරව නිශ්ශබ්දව සිටීම නිසා ලාංකීය සමාජය දරුණු ඛේදවාචකයකට පත්ව ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ රාජගිරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මම 1988 ඉඳන් 2000 වසර දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙක් විදියට වැඩකරගෙන ගියා. පසුව මගේ කැමැත්තෙන්ම ඉන් ඉවත් වෙන්න තීරණය කළා. මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණය කලේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති නිසයි. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනස් දිශාවකට රැගෙන යන බව අපට අවබෝධ උනා. ඒ නිසා අපි එතනින් ඉවත් උනා. නමුත් දැන් අපිට පේන්න තියෙනවා අපි බොහොමයක් පුරවැසියන් පාලනය වෙන්නේ වැරදි මිනිස්සු අතින් කියන එක. ඒ නිසා තව දුරටත් අපිට නිහඬව ඉන්න බැහැ. වෘත්තීයවේදීන්, උගතුන්, බුද්ධිමතුන් අද සමාජයේ නිහඬ වෙලා. දේශපාලඥයින්ටම දොස් කිය කියා ඉඳල වැඩක් නෑ. මේක ජනතාව තේරුම් ගන්න ඕනේ මේ රට වැටී තිබෙන තත්වයට පුරවැසියනුත් වගකිව යුතුයි.”
“අද දේශපාලඥයින් හෝ ඔවුන් වටා සිටින පුද්ගලයන් කරන සෑම දෙයක්ම නිවැරදි කියන තත්ත්වයට පත් වෙලා. වරද සමාජ ගත වෙලා. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ රට නිවැරදි තැනට ගන්න. සියලු දෙනා එකතු වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි උත්සහ කරන්න ඔනේ සමාජය පරිපූර්ණත්වයේ ආසන්නයට හෝ රැගෙන යන්න. අද වෙනකොට ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා. අපි රටක් විදියට දුෂණ දර්ශකයේ කොතනද ඉන්නේ 2015 අපි හිටියේ 83 වැනි තැන. අද අපි 2018 දී 95 වැනි තැනට ඇවිත්. අපි එන්න එන්න දුෂණ දර්ශකයේ ඉහලට යනවා. මෙහෙම රටකට ඉදිරියට ගමන් කරන්න බැහැ. අද මේ රටේ ප්‍රධාන අදායම් මාර්ගය බවට අපේ රටේ කාන්තාව මැද පෙරදිග යවන එක පත් වෙලා. කාන්තාවන් රට යවලා අදායම් උපයනවා නම් මේ විදියට අපි අසාර්ථකත්වයට පත් වෙලා. අද බලන්න ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය දැන් අවුරුදු ගානක ඉඳන් උපාධිධාරීන් විශාල වශයෙන් රැකියා නැතුව පෝලිම් වල. හැම කෙනෙක්ටම ජිවිතයේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැන් ලංකාවේ තරුණ ප්‍රජාවගේ බලාපොරොත්තු බිඳ වැටිලා. අධ්‍යාපන ක්‍රමය පිරිහිලා.”
“ලෝකයේ ඉහලින් තිබුණු අපේ රටේ විශ්ව විද්‍යාල අද කොතනද තියෙන්නේ. අද තරුණ ජිවිත සම්පුර්ණයෙන්ම කාලකන්ණි වෙලා. අද විශ්ව විද්‍යාල තිබුනත් ඒ අයට දෙන උපාධිය ලෝකය පිළිගන්නා කාලීනව වැදගත් වෙන තත්වයට පත් කරලා නෑ. අද වෘත්තිය අධ්‍යාපන ආයතන දියුණු කරලා තියෙනවා. නමුත් රැකියා වෙළඳපොල මීට ගැලපෙන විදියට විදිමත් වෙලා නෑ. අද ජනතාව හැම පැත්තෙන්ම අසරණ වෙලා. නීතිය තිබුණට නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න තියෙනවා. නීතිය ජනතාවගේ විවේචනයට ලක් වෙලා තියෙනවා. මෙය හොඳ දෙයක් නෙමෙයි. ඉන්න නායකයා බුද්ධිමත් නායකයෙක් නම් ප්‍රශ්නයක් මතු වෙන්න කලින් විසඳිය යුතුයි. අද ඉන්න නායකයෝ ප්‍රශ්නය හොඳටම අවුල් වෙලා මිනිස්සු පාරට ඇවිත් පෙළපාලි යනකන්ම ඉන්නවා ප්‍රශ්න විසඳන්න. අද ඉන්න නායකයෝ හිස් මිනිස්සු. ඒ අයට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ අයට ජනතා ප්‍රශ්න වලට විසඳුම් නෑ. අද බලන්න ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද මේ අයගෙන් වෙන සේවය මොකක්ද? ගෘහ සේවිකාවන් රට ගිහින් උපයන සල්ලි වලින් මේ අය සුරසැප විඳිමින් ඉන්නවා. මේ අයගෙන් රටට වෙන සේවය කුමක්ද? අද දේශපාලනයට ප්‍රතිපත්තියක් නෑ. උදාහරණයක් විදියට මේ රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කුමක්ද? ජනාධිපති එකක් කියනවා, රතන හාමුදුරුවෝ තව එකක් කියනවා, කෘෂිකර්ම ඇමති තවත් දෙයක් කියනවා, ඒ අතරේ ඒ ක්ෂේත්‍රයේ විශාල අක්‍රමිකතා වෙනවා. මේ රටේ ප්‍රතිපත්තියද ?”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS