අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) හෝ හෙට (22) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) හෝ හෙට (22) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 52 දෙනෙකු පමණ එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දීර්ඝ සාකච්ඡාවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පවත්වා තිබේ.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කර ඇත්තේ විශ්වාසභංගය සඳහා අත්සන් ලබාගත හැකි ශ්‍රීලනිපයේ හා එජාපයේ මන්ත්‍රීන් 06 දෙනෙකුගෙන් අත්සන් ලබාගෙන ඉතා ඉක්මනින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට බාරදිය යුතු බවයි.
ඒ අනුව අද දිනයේ දී හෝ හෙට දිනයේදී මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට බාරදීමට බලාපොරොත්තුවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි.
විශ්වාසභංගයට ශ්‍රීලනිපයේ සහාය
මේ අතර ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පවත්වා තිබේ.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන දීර්ඝ ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් විසින් සකස් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් බොහෝදෙනෙකු අත්සන්කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු පමණක් මෙම ලිපියට අත්සන් යොදා නොමැති බවද පැවසේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට අකමැති බව දක්වමින් මෙම ලිපිය සකස්කර ඇති අතර, මේ සියලු කරුණු හේතුවෙන් විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට සිදුවන බවද අමාත්‍යවරුන් එමගින් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පෙරේදා(19) රාත්‍රියේ හමුවූ බවද එම ආරංචි මාර්ග පැවසී ය.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ඒසඳහා සහාය දීමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
විශ්වාසභංගයට මහින්දගේ අත්සන නෑ
මේ අතර අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නොමැති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බවට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාට අමතරව විදේශ ගතව සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පමණක් එයට අත්සන් කර නොමැත.
බැඳුම්කර වංචාව සිදුකිරීමේ කූට අරමුණින් මහ බැංකුව තමන් යටතට පවරා ගැනීම, මෙරට පුරවැසියෙකු නොවූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරයට පත් කිරීම, බැඳුම්කර වංචාවට පැහැදිලි ලෙසම සම්බන්ධ වීම සහ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම මෙන්ම ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශන සිදුවන අතරවාරයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු එම කමිටුවෙන් ඉවත් කර නව සාමාජිකයෙකු පත් කිරීම ඇතුළු කරුණු මෙම විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් වන බව වාර්තා වේ.
මීට අමතරව, නීතිය හා සාමය අමාත්‍ය ධුරය දරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ජාතික සමගිය බරපතල ලෙස පළුදු කරමින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කිරීම යන කරුණද විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර තිබේ.
එසේම සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව අගමැතිවරයා වෙත මෙම විශ්වාසභංගයේදී තවත් චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පැවසී ය.
COMMENTS