පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. පසුග...
පළාත්පාලන ආයතන 15 ක නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපතිවරු සහ උප සභාපතිවරු මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ජයගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය වන අතර කොළඹ නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. ඒ අනුව කොළඹ මහනගරසභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ මුල්වරටය.
කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස මොහොමඩ් තුල්බා මොහොමඩ් ඉක්බාල් පත් කර ඇත.
කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයේදී දිවුරුම් දීම සිදුකෙරේ.
ඊට අමතරව නුවරඑළිය, අක්කරෙයිපත්තුව සහ බණ්ඩාරවෙල මහ නගර සභා සඳහාද ප්‍රධානීන් මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම කොළොන්නාව, මහරගම, වත්තල - මාබෝල, පානදුර, බේරුවල සහ කුලියාපිටිය නගර සභා සඳහා සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් පත් කර ඇති බව මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව නෝවුඩ්, කයිට්ස්, පූනාකරි, පුදිකුඩිඉරිප්පු සහ වෙරුගල් යන ප්‍රාදේශීය සභා සඳහාද ප්‍රධානීන් පත්කර තිබේ.
COMMENTS