අම්පාර නගරයේ පිහිටි ආපන ශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයෙකුගේ ආහාරවලට පෙති වර්ගයක් දැමීම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ දෙපාර්ශවයක් අතර ඇති ...
අම්පාර නගරයේ පිහිටි ආපන ශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයෙකුගේ ආහාරවලට පෙති වර්ගයක් දැමීම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි අම්පාර පොලීසිය පවසයි.
මෙහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් වෙළෙඳ සැල් හතරකට හා ආගමික ස්ථානයකට හානි සිදු ව තිබේ.
අම්පාර පන්සල් හන්දිය ප්‍රදේශයේ ආපන ශාලාවකදී මෙම සිදුවීම සිදුව ඇති අතර අම්පාර පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සිද්ධි පිළිබඳ උරණ වූ පිරිස් වෙළෙඳසැල් කිහිපයකට පහර දී ඇති අතර, එය නැවත්වීමට පොලිසිය උත්සහ කළද එය ව්‍යර්ථ වී තිබේ. පසුව වෙනත් පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ගෙන්වා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය සැල වූ වහාම නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ යන මහත්වරු එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළහ.
මීට අමතරව ඊයේ රාත්‍රියේ සිට අම්පාර නගරයට හා අනාරක්ෂිත යැයි හැඟෙන පුජනිය ස්ථාන සඳහා යුද හමුදාව, පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබිණි.
මෙම ආපන ශාලාවෙන් ලබා දුන් ආහාර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පොලිසිය කටයුතු කර තිබේ.
පවතින තත්ත්වය පිළිබඳ සාකච්ජා කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ආරක්ෂක නිලධාරීන් අතර අම්පාර දිසාපති කාර්යාලයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමට එහිදී සියලු පාර්ශවයන්ගේ එකඟතාවය පළ විය.
මෙම සිද්ධියේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ගුණසේකර මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය යහපත් අතට පත්වන තෙක් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව සැලසීමට මෙම සාකච්ජාවේදී තීරණය විය.
COMMENTS