පශ්චාත් යුද සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වූවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ...
පශ්චාත් යුද සමයක වගකීම් නිසි ලෙස ඉටු නොවීම නිසා යුද්ධය අවසන් වූවත් රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් රට තුළ නිර්මාණය නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් අද උරදී සිටින්නේ අතපසු වූ එම සංහිඳියා වැඩපිළිවෙළ රටේ සියලු ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊයේ (31) පස්වරුවේ සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
යුද්ධය අවසන් වුවත් අතුරුදන්වීම්, මිනිස් ඝාතන සහ මාධ්‍යවේදීන් මහපාරේ මරා දැමූ මෙන්ම මාධ්‍යවේදීන් රට හැර ගිය යුගය නිමා නොවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඇතැම් පිරිස් ජාතිවාදී ගැටුම් ඇතිවන අයුරින් හැසිරීම හේතුවෙන් රටේ ජනතාව අතර අවිශ්වාසය, බිය සහ සැකය ගොඩනැගුණු බව ද කියා සිටියේය.
පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව තමා ජනාධිපති ධුරයට පත්කර ගත්තේ රටේ සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම සාමකාමී රටක් ගොඩනැගීමට බව පැවසූ ජනාධිපතිවරයා එම වගකීම අද තමන් නොපිරිහෙළා ඉටුකරමින් සිටින බව ද කියා සිටියේය.
නැවත යුද්ධයක් ඇති නොවන අයුරින් රට ගොඩනැගීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අද ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහයෝගය ද මාතෘ භූමියට හිමිව තිබෙන බව සඳහන් කළේය.
යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ජනතාවට සංවර්ධනයේ සාධාරණය ඉටුකිරීමට කැපවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිස සමග එම වැඩපිළිවෙළ වඩා කාර්යක්ෂම කරන බව ද කියා සිටියේය.
මේ අතර ඊයේ පස්වරුවේ කල්මුණේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිවරයා එක් විය. බහුතර මුස්ලිම් ජනතාවක් එක්ව සිටී මෙම ජනහමුවේදී ඔවුන්ගේ ඉහළ ප‍්‍රතිචාරයක් ජනාධිපතිවරයා වෙත හිමි විය.
අනතුරුව මඩකලපුව, කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිවරයා සහභාගී විය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මඩකලපුව දිස්ති‍්‍රක්කය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනහමුව සංවිධානය කර තිබුණු අතර ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. එහිදී ද ජනාධිපතිවරයාට එම ජනතාවගෙන් හිමිවූයේ ඉහළ ප‍්‍රතිචාරයකි.
එම ජනතාව ඇමතූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රටේ සියලු ජනතාවට අවශ්‍ය සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබාදීමට තමා කැපවී සිටින බවයි. ගමේ සහ නගරයේ ජනතාව තමා සමග වඩා සමීප කරවීමේ පාලම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග‍්‍රහණය කරවමින් ගොඩනගාගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
පෙබරවාරි 10 වනදා ලබන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග රටට අවශ්‍ය නව පරිවර්තනීය ගමන සඳහා ජාති, ආගම් බේදයකින් තොරව එකම ශී‍්‍ර ලාංකීක ජනතාවක් ලෙස සියලු ජනතාව අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අනතුරුව මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් සඳහා ද ජනාධිපතිවරයා සහභාගී විය. එහිදී ද ජනාධිපතිවරයා ජනතාව අමතමින් අවධාරණය කළේ තමා සිය බලය සෑමවිටම භාවිතා කරන්නේ මේ රටේ පොදු මහජනතාවගේ යහපත සඳහා බවයි.
COMMENTS