පළාත් පාලන මැතිවරණයේ දී එකිනෙකාට චෝදනා කරමින් මැතිවරණයෙන් පසු තනි ආණ්ඩු හදන බවට වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
පළාත් පාලන මැතිවරණයේ දී එකිනෙකාට චෝදනා කරමින් මැතිවරණයෙන් පසු තනි ආණ්ඩු හදන බවට වහසි බස් දෙඩූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ‘අපි තරහයි’ නාටකය නිමවා අද සිට ‘අඹ යාළුවෝ’ නාටකය රඟ දැක්වීම අරඹා ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද (22) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.
“පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ජනතාව ඉදිරියේ හොඳ රඟපෑමක් කළා. එජනිස තනි ආණ්ඩු, එජාප තනි ආණ්ඩුවක් හදන බව පැවසුවා. එජාප ආණ්ඩුව පසුගිය වසර තුන තුළ රටේ ආර්ථිකය කාබාසිනියා කළ බවත් පළාත් පාලන ඡන්දයෙන් අනතුරුව රටේ ආර්ථිකය තමාගේ අතට ගන්නා බවත් ජනාධිපතිවරයා දිගින් දිගටම කීවා. නමුත් ඊයේ (21) අපි පාර්ලිමේන්තුවේ දී දුටුවා ‘එජාප - ශ්‍රී ලනිප ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට අපි සූදානම්’ කියලා එජාපය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත් ශ්‍රී ලනිපය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතිවරයාත් කියපු අපූරුව.
‘ජනමතයට පිටුපාලා අලියාගේ වලිගයේ එල්ලුණා’
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණු ‘බුලත් කොළයට’ සහ ‘අතට’ ලැබුණු සෑම ඡන්දයක්ම එජාප විරෝධී ඡන්දයක්. අද ඒ 13%කට මදක් වැඩි ඡන්ද ප්‍රතිශතය, ජනමතයට පිටුපාලා අලියාගේ වලිගයේ එල්ලලා තියෙනවා. මේ හවුල් ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා ‘ඇමති කටු’ සූප්පු කරන්න සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් ද? විශාල මුදලකට විකුණුනු, ඉදිරි මහමැතිවරණයේ දී කිසිසේත්ම ජයගත නොහැකි අන්දමට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු, ඒ වගේම 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට බලා සිටින අයට පමණයි, එවැනි තීරණයක් ගත හැක්කේ. තවත් කිහිප දෙනකු ඉන්න පුළුවන් මේ හවුල් ආණ්ඩුවට සහාය දීලා 2020 දී එජාපය සමග ඡන්දය ඉල්ලන්න බලා ගෙන ඉන්න. කෙසේ වෙතත්, මේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් පිරිස ජනමතයට පිටුපාලා හවුල් ආණ්ඩුවේ වාඩි වීමෙන් රටටත්, ජාතියටත්, බරපතළ අපරාධයක් සිදු කරනවා.
මේ හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යන ගමන් දැන් කැබිනට් සංශෝධනයක් ගෙන එනවාලු. ඒකෙන් රටට සිදුවන සෙත කුමක් ද? ඒක හරියට ‘මහළු ගණිකාවක් මේකප් දාලා කන්‍යාවියක් බවට පත්කිරීමට’ උත්සාහ කිරීමකට සමානයි.
මේ හවුල් ආණ්ඩුව තවදුරටත් තබා ගැනීමෙන් රටටත්, ජනතාවටත් ලැබෙන්නේ කුමක්ද? උතුරට ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය ස්වයංපාලනයක් ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වගේම රටේ ජාතික සම්පත්, ඉඩම් කුණු කොල්ලයට නොරටුන්ට විකුණා දැමිම, එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීම, රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට දැක්වීම, සමලිංගික විවාහ, කාන්තාවන්ට මත්පැන් අලෙවියට, පානයට අසීමිත නිදහසක් ආදිය ලැබේවි.
‘නිල ප්‍රතිඵල තවමත් නැහැ’
පළාත් පාලන මැතිවරණය පවත්වා දැන් දින 12ක් ඉකුත් වී තිබෙනව. ඒත් තවම අවසන් නිල ප්‍රතිඵල ලබා දීමට මැතිවරණ කොමිසම අසමත් වී තිබෙනවා. මාධ්‍ය වෙත මැතිවරණයෙන් පසු නිකුත් කළ ප්‍රතිඵලවල ද බොහෝ අඩුපාඩුකම් දැකගත හැකි වුණා. විශේෂයෙන් 51%ක ප්‍රතිශතයක් නොමැතිව පළාත් පාලන ආයතනයක ස්ථාවර පාලනයක් ගෙන යන්න බැහැ. අවසාන නිල ප්‍රතිඵලය නොමැතිව බොහෝ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමටත් ගැටළු ඇතිව තිබෙනවා. මේ තත්ත්වයට කඩිනමින් පිළියම් යොදන ලෙස අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.
‘ලයිකා මොබයිල්ට නාලිකා - මූල්‍ය ආයතන’
මෙරට දේශීය ව්‍යාපාර ජාලයකට අයත් රූපවාහිනි නාලිකා, ගුවන්විදුලි නාලිකා සංඛ්‍යාත මෙන්ම ඔවුන් සතු මූල්‍ය ආයතනයක් විකුණා දැමීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණා. ඒ සඳහා ඉහළම මිල ගණන් ඉදිරිපත් කර ආයතනය නොසලකා හරිමින්, ආණ්ඩුවේ බලපෑමට ලයිකා මොබයිල් නැමැති ආයතනයට ඉහත සියල්ල ලබා දීමට සූදානම් වෙනවා. මුදල් විශූද්ධිකරණ චෝදනා තිබෙන, බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ උවමනාව අනුව නැටවෙන, ඒ වගේම බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඬේවිඞ් කැමරන්ට අල්ලස් ලබා දීමේ චෝදනා එල්ල වූ ජාත්‍යන්තර අපකීර්තියට පත් වූ ආයතනයක් තමයි ‘ලයිකා මොබයිල්’ කියන්නේ. මෙවැනි ආයතනයකට මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන පවත්වා ගෙන යාමට ඉඩකඩ සලසා දීමෙන් මේ ආණ්ඩුව මේ රට සුවිශාල අවදානමකට ඇද දමනවා” යැයිද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS