එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ එම පක්ෂය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු දකුණේ කලබලකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂන...
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ එම පක්ෂය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු දකුණේ කලබලකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා හමුවී අද (14) පස්වරුවේ සාකච්ඡා කොට ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාව කොලඹදී සිදුව ඇති අතර පළාත් පාලන මැතිවරණයෙන් පසු දේශපාලන ධාරාවේ හටගත් දැඩි අර්බුදකාරී තත්වයත් සමඟ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතුය යන්න විපක්ෂනායකවරයා මෙහිදී පෙන්වා දී ඇති බවද ඔහුට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.
විපක්ෂනායකවරයා මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයේ සෙසු මැති ඇමතිවරුන් සමගින් සාකච්ඡා කිරීමටද සූදානමින් සිටියි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින්ද මේ කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ එජාපයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් ආණ්ඩු පිහිටුවීමේ සහාය මෙතෙක් ඉල්ලා නොමැති බවය.එසේ ඉල්ලීමක් සිදුකරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය තුළ සාකච්ඡා කොට තීන්දුවක් ගන්නා බවය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ තවත් නියෝජිතයින් සඳහන් කර සිටින්නේ එජාපය හෝ කිසිදු පක්ෂයක් සමගින් එක්ව ආණ්ඩු පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් නොවන බවත්.එමෙන්ම පවතින රජය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත්ය.
අවස්ථාව එනකම් බලා සිටී
ජාතික ආණ්ඩුව බිදවැටීම තුළින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට බලපෑමක් සිදුවිය හැකි බවත් ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබද සලකා බලා තීන්දුවක් ගන්නා බවත් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
එමෙන්ම ජාතික ප්‍රශ්නයට විසදුමක් ලැබෙන තෙක් රජයකට එකතු නොවීම දෙමල ජාතික සන්ධානයේ ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්වය ගැන සිතා තීන්දුවක් ගන්නා බවද හෙතෙම කීය.
පළාත් පාලන ඡන්දය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයයේ විශේෂ සාකච්ඡාවක් අද(14)වනදා යාපනය මාටිං විදීයේ පිහිටි ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ මූලස්ථානයේදී පැවත්විනි. සාකච්ඡාවෙන් අනතුරුව කැදවූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබදව කිසිදු ගැටලුවක් පේන්න නෑ කියලා. මොකද මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සිංහල මාධ්‍යයන් ප්‍රශ්න කරලා තියෙනවා සහය දක්වනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තිරණයක් ප්‍රකාශ කිරීම වැරදියි.
අපේ ජාතික ප්‍රශ්නය විසඳුමක් ලැබෙන තාක්කාල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010 - 2015 රාජපක්ෂ ආණ්ඩු සමයේදී අප සාකච්ඡා කළා. මෙය බාධකයක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මෙම නව මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් ඇති කරලා තියෙනවා. එබැවින් සභාවක බලය පිහිටුවීමට කිසියම් පක්ෂයකට බහුතර මන්ත්‍රීධුර හිමිවෙලා තියෙනවානම් එම පක්ෂය බලය පිහිටුවීමට අනෙක් පක්ෂ විරුද්ධ නොවිය යුතුයි කියලා අපි ස්ථාවරයේ ඉන්නවා.
අපි ඒ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් එම මතය පිළිගෙන මධ්‍යස්ථ මතධාරීන් විවිධ පක්ෂ සමග සාකච්ඡා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් යාපනයේ පක්ෂ දෙකක් තමනුත් එම මතයේ ඉන්නවා කියලා තියෙනවා. මෙම මැතිවරණය ජයගත් සියලු සභිකයින් කුමන පක්ෂයේ හිටියත් ඔවුන් එම මතයේ වැඩ කරයි කියලා අපි හිතනවා.
COMMENTS