යාපනය ප‍්‍රදේශය මූලික කරගනිමින් රිය අනතුරු අවම කරගැනීම සඳහා ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනවල රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරිමේ සම්මන...
යාපනය ප‍්‍රදේශය මූලික කරගනිමින් රිය අනතුරු අවම කරගැනීම සඳහා ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතනවල රියදුරන් සඳහා මාර්ග නීති පිළිබඳව දැනුවත් කිරිමේ සම්මන්ත‍්‍රණයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා,
“ඔබ සියලූ දෙනා දන්න කරුණක් තමයි මේ ලොව උපදින සියල්ලන්ම කවදා හෝ දවසක මියයන බව. ඒක සත්‍යක් මෙන්ම යථාර්තයක්. වයසට ගිය අය මැරුණොත් ඒක අපට පුදුමයක් නෙමෙයි. එහෙත් තරුණ තරුණියන් පාසල් සිසුන් හා කුඩා දරුවන් මියගියොත් එයට හේතුව අපි අනිවාර්යෙන්ම සොයා දැන ගත යුතුයි. ගමනා ගමන සංවර්ධන වැඩපිළිවෙල ඉහළ නැංවීම සඳහා අපට තාක්ෂණ සහායය ලැබී තිබෙනවා. ඒවා අප විධිමත් ආකාරයෙන් භාවිතා කල යුතුයි.
මේ කාලයේ සියලූ දේ අධික වේගයෙන් සිදුකරන්න පෙළඹෙනවා. ඇයි දැන් සංගීතය ගත්තත් අධිවේගී. ආහාර අනුභව කරන්නෙත් අධි වේගයෙන්. ගමන් බිමන් යන්නෙත් අධි වේගයෙන්. මේ සියලූ දේ කරන්නේ අධි වේගයෙන්. ඔබත් ඔබේ වාහන පදවන්නේ අධික වේගයකින්. ඔබ අධික වේගයකින් වාහන පදවන විට එයින් ඔබත් විපතට පත් වෙනවා වගේම මාවතේ ගමන් කරන තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතද නිකරුණේ අහිමි වී යනවා. ඒ මොහොතේ ඔබේ හිතට දුකක් දැනෙනවා. ඒක යථාර්තයක්. එහෙම කෙනෙකුගේ හිතට දුකක් දැනෙන්නේ නැත්නම් ඔහු මනුෂ්‍යයෙක් නොවේ. පවුලක පියා මියගියොත් එම පවුලේ තත්වය ගැන සිතන්න. ඒ පවුලේ අය කොතරම් වේදනාවට පත් වෙනවද? ඒ වගේම ඔවුන් කොතරම් අසරණ වෙනවද?
ඉදිරියෙන් එන පුද්ගලයා පමණක් නොව ඔබේ වාහනය ඇතුළත සිටින පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමද ඔබේ වගකීමක්. පෙර පැවති යුද්ධය නිසා විශාල ජීවිත හානියක් සිදුවුනා. යුද්ධයෙන් පසු දැන් ඊටත් වැඩියෙන් ජීවිත හානි සිදුවන්නේ මෙම මාර්ග අනතුරු නිසා.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS