බැඳුම්කර ගනුදෙනුවට පාදක වී ඇති ප්‍රශ්නගත මුදල් පොදු දේපල යටතට නොගැනෙන බැවින් සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර...
බැඳුම්කර ගනුදෙනුවට පාදක වී ඇති ප්‍රශ්නගත මුදල් පොදු දේපල යටතට නොගැනෙන බැවින් සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන මහත්වරුන් දෙදෙනාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අවධාරණය කර සිටියි.
ඔහු එබව සඳහන් කර සිටියේ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන සැකකරුවන්ට එරෙහිව ඊයේ (05) පෙරවරුවේ අධිකරණය හමුවේ කරුණු විභාගවෙමින් පැවති අවස්ථාවේදීය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ රහස් පොලිසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා අවධාරණය කර සිටියේ අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ පොදු දේපල පනත යටතේ බැවින් සුවිශේෂ හේතු නොමැතිව ඔවුන්ට ඇප නියම කිරීමට අධිකරණයට බලයක් නොමැති බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බවය.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තියේ නීතිඥවරයාට නියම කළේ එම ඉල්ලීම ලිඛිතව ලබන 07 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.
අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 16 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරුණු අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියම කළාය.
රහස් පොලිසිය මාධ්‍ය සමග පැමිණ අර්ජුනගේ හා පලිසේනගේ නිවෙස් වටලනු ලැබිය
පර්පචුවෙල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට අධිකරණය පෙබරවාරි 02දා තීන්දු කළේ රහස් පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවය.
ඉරිදා (පෙබරවාරි 04) පෙරවරුවේ අත්අඩංගුට ගනු ලැබීමෙන් අනතුරුව රහස් පොලිස් මූලස්ථානය වෙත රැගෙන යන ලද ඉහත කී සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.
අනතුරුව සැකකරුවන් දෙදෙනා ඉරිදා රාත්‍රියේම මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සඳුදා (පෙබරවාරි 05) පෙරවරුව දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.
COMMENTS