( ශ්‍රී ලංකා මිරර් වාර්තාවකි) පසුගිය වසරේ අවසන් දින කිහිපය තුළ වෙබ් අඩවි හා සමාජ ජාල තුළ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පැතිර ගොස් තිබ...
(ශ්‍රී ලංකා මිරර් වාර්තාවකි)
පසුගිය වසරේ අවසන් දින කිහිපය තුළ වෙබ් අඩවි හා සමාජ ජාල තුළ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් පැතිර ගොස් තිබූ අසත්‍ය ප්‍රවෘත්ති හේතුවෙන් තැන්පත් කරුවන් එකවරම තම තැන්පත් මුදල් ආපසුගෙවන ලෙස ඉල්ලා සිටීමෙන් ඇති වූ ද්‍රවශීලතා ප්‍රශ්නය නිසා ඊටීඅයි සමාගමට මේ තත්ත්වය උදාවූ බව එහි ප්‍රකාශකයකු කියා සිටියේය.
අප කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ තත්වය දිගින් දිගටම පැවතියහොත් එය මුළු රටේම ආර්ථිකයට සෘජුව බලපාන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) සිට ඊටීඅයි ෆිනෑන්ස් සමාගම (ETI ) හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් (SFS) සමාගමේ තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුක්ෂිත කිරීම පිනිස එම ආයතන වල මෙහෙයුම් කටයුතු දැඩිලෙස නිරීක්ෂණය කරන බව තැන්පත්කරුවන් වෙත නිවේදනයක් මගින් දැනුම්දී ඇති බවයි.
එම නිවේදනය මගින් අදාළ මූල්‍ය සමාගම් වල ස්ථාවරත්වය තහවුරු කරගැනීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස තැන්පත්කරුවන්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදුකර ඇති බවද එහි දැක්වෙන බව ඔහු කීය.
ETI හා SFS ස්වර්ණමහල් රත්‍රංවල ?
EAP සමාගම් සමූහය දිවයිනේ විවිධ ප්‍රදේශ පුරා විහිදී ගිය ජාලයක් වන අතර එම ජාලයේ මූල්‍ය සමාගම් වන ඊටීඅයි ෆිනෑන්ස් සමාගම (ETI ) හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් (SFS) මූල්‍ය සමාගම් දීර්ඝ කාලයක සිට මහජන විශ්වාසය දිනාගත් සමාගම් බවත් පැවසූ අදාළ ප්‍රකාශකයා බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සිය තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් සියල්ලම තමා සන්තකයේ මුදල් වශයෙන් තබා නොගන්නා බවද කීය.
එම නැත්පතු විවිධ ක්ෂේත්‍ර වල ආයෝජනය කරනු ලබන බවත්, ඒ අනුව සිය සමාගමේ තැන්පතු වලින් වැඩි මුදලක් ස්වර්ණාභරණ උකස් ණය, වාහන කල්බදු ණය, දේපල උකස් ණය ආදි ව්‍යාපාර කටයුතු වල ආයෝජනය කර මාසිකව පොළිය වශයෙන් ආදායම් උපයන බවත් කියා සිටියේය.
ඊයේ දිනය වන තෙක් සියළුම මුදල් නැවත ලබා ගැනීම් හා පොලී ගෙවීම් වේලාවට සිදු කළ බව ඔහු කීය.
ETI එකට විදේශීය ආයෝජන
කෙසේවුවද, ETI සඳහා විදේශ ආයෝජනයක් පිළිබඳ පසුබිම සැකසී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඊට අවශ්‍ය අදාළ නීතිරීති හා රෙගුලාසි වලට යටත්ව ආයෝජනයන් සඳහා පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් මේ අතර වාර්තා වේ.
COMMENTS